Spread the love

නිමල් රාජපක්ෂ

සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන රටක් මේ වනවිට ගොඩනගා ඇති බවත් සර්ව ආගමික, විවිධ ජාතිකත්ව සහජීවනයෙන් යුත් සංස්කෘතික දහමක් සහිතව ජීවත්වන කොලොන්නාව ජනතාව මුලු රටට ම ආදර්ශයක් බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

හෙතෙම මේ අදහස් පළකලේ කොලොන්නාව නගර සභාව සංවිධානය කර තිබූ ‘සහජීවනයේ ඉෆ්තාර් සන්ධ්‍යාව’ විශේෂ ආගමික වැඩසටහන හා එක්වෙමිනි.

බොදු, කිතුණු, හින්දු, ඉස්ලාම් ආගම් නියෝජනය කරමින් සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම ඉෆ්තාර් උළෙල පැවැත්විණ. මුස්ලිම් ජනතාවගේ රාමලාන් මාසයේ අනිවාර්ය උපවාස ශීලයේ පිහිටා එම උපවාස ශීලයෙන් මිදීමේ සද්ක්‍රියාව සංකේතවත් කරමින් මුස්ලිම් සහ මුස්ලිම් නොවන ජන සහභාගිත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

මෙහිදී පැමිණ සිටි බැතිමතුන් සහ ජනතාව අමතා වැඩිදුරටක් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා :
‘රටේ සියලු ජාතීන්ගේ එකමුතුවෙන් අලුත් රටක් ගොඩනැගීම අරඹා තිබෙනවා. පැවති ආණ්ඩු රාමලාන් උපවාසයට පෙර ජාතිවාදය ගෙනාවා. මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් ආගමික, සංස්කෘතික කටයුතුවලට බාධා ඇති කලා. අපේ රජය යටතේ කොලොන්නාවේ සියලු ප්‍රජාව එකට එක්ව වැඩ කිරීමේ දහම පෙන්වා දී තිබෙනවා. ගතවූ වසර එකහමාරක රාජ්‍ය පාලන කාලය තුළ ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ නොතබා සහෝදරත්වයෙන්, සමානාත්මතාවයෙන් කටයුතු කර තිබෙනවා. ආගම, සංස්කෘතිය, සහජීවනය, ආදරය, කරුණාව පෙරදැරිව නිර්මාණය වූ රටක ඉපදෙන දරුවන්ටත් පොහොසත්, ලස්සන දේශයක් දායාද කරන්න සැවොම කැපවන මෙන් ඉල්ලා සිටිනවා.’

මෙම අවස්ථාවට කොලොන්නාව පැරකුම්බා මාවත බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පොතේවෙල විනීත ස්වාමීන් වහන්සේ, වැල්ලම්පිටිය පරමධම්මචේතිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කවිධජ ස්වාමීන් වහන්සේ, දසසිල් මාතාවන්, කතෝලික රදගුරු, කොලොන්නාව ශාන්ත ජෝශප් දෙව් මැදුරේ ගරු රංජුල ප්‍රනාන්දු පියතුමා, හින්දු කොන්ග්‍රස් ප්‍රධාන ලේකම් ගරු දර්ශක ෂර්මා කුරුක්කල්තුමා ඇතුලු සර්ව ආගමික නායකයෝ, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆර්, කොලොන්නාව නගරාධිපති ඩබ්ලිව්. එම්. ධම්මික විජේමුණි, උප නගරාධිපති කේ. ඩී. එස්. සමන් සෙනෙවිරත්න යන මහජන නියෝජිතයෝ ඇතුළු බැතිමත්හු සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.