නිමල් රාජපක්ෂ-
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කෙරේ.
ඒ අනුව කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ සහ මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ ජලවිද්‍යා ආපදා කළමණාකරන ඉංජිනේරු එම්.එස් එන් සුරිය බණ්ඩාර මහතා පවසයි
එසේම කාසල්රී, මාවුස්සාකැලේ, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ, සමනලවැව සහ උඩවලව ජලාශවල ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින් ඒවාට පහළ ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව දැනුම් දෙයි.
රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල නායයෑම් සහ හදිසි ගංවතුර අවදානම පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරන නිවේදන පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
අවදානම් ප්‍රදේශවල සිටින ජනතාවට අවශ්‍ය අවස්ථාවල ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත්, ජලයෙන් යට වූ මාර්ග භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් බලධාරීන් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
