මාලන් විතාන –
න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය
. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC), ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) හා සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික හැඳින්වීමේ කලාපීය පුහුණු වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙනමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එය අද දින (13) කොළඹ රාමඩා හෝටලයේ දී ආරම්භ වූ අතර ජූලි 17 දක්වා පැවැත්වේ.
මෙම කලාපීය වැඩසටහන, ඒකාබද්ධ න්‍යෂ්ටික ආරක්ෂක තිරසර සැලැස්ම (Integrated Nuclear Security Sustainability Plan -INSSP) ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සංවිධානය කරනු ලැබිණි. විකිරණශීලී ද්‍රව්‍ය හා සම්බන්ධව ඉස්මතු විය හැකි තර්ජනවලට මුහුණ දීම සඳහා ජාතික සහ කලාපීය හැකියාවන් ඉහළ නැංවීමටත්, න්‍යෂ්ටික ආරක්ෂාව තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම මෙම වැඩසටහන මගින් පිළිඹිබු වේ.
මෙම පුහුණුවේ මූලික අරමුණ වනුයේ න්‍යෂ්ටික හෝ වෙනත් විකිරණශීලී ද්‍රව්‍ය, ඒවාට අදාළ පහසුකම් හෝ සම්බන්ධිත ක්‍රියාකාරකම් භාවිත කරමින් සිදුවන අපරාධමය හෝ චේතනාන්විතව සිදුකරන අනවසර ක්‍රියාවන්ට සාර්ථකව මුහුණ දීම සඳහා, ජාතික ප්‍රතිචාර රාමුවක් තුළ න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කිරීමයි. මෙම පාඨමාලාව මගින් විමර්ශන තාක්ෂණයන්, ආයතන අතර සම්බන්ධීකරණය සහ න්‍යෂ්ටික ආරක්ෂාව උදෙසා න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යාව යොදා ගැනීම පිළිබඳ සහභාගිවන්නන්ගේ අවබෝධය තවදුරටත් වර්ධනය කෙරෙනු ඇත.
