Spread the love

නිමල් රාජපක්ෂ

නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත්, ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

පර්යේෂණ සහ සංවර්ධනය ලෝකයේ විශාලතම ආදායම් උපයන රාජ්‍ය බිහිවීමට ඉවහල් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය වෙනස් වන්නේ පර්යේෂණ සහ සංවර්ධනය මගින් බවත්, අනාගත ලෝකය ජයග්‍රහණය කළ හැක්කේ එය නිසි ලෙස හඳුනාගන්නා අයට බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ  විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය මගින් 2026 වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (05) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීමට සහ ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබා දීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයට ලබාදිය හැකි දායකත්වය පිළිබඳවද විමසා බැලීය.

විවිධ අමාත්‍යාංශ යටතේ පවතින පර්යේෂණ අංශවලට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමේදී විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 14ක් විසින් දේශීය සහ විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර,  ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමු කෙරිණි. මෙහිදී මෙම ආයතනයේ පර්යේෂණාත්මක මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරෙන අලිවැට ඉදිකිරීමේ සහ අඩු වියදම් පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීමේ පර්යේෂණ ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.

අමාත්‍යාංශය යටතේ පවතින විවිධ ආයතනවලින් සිදු කරන විද්‍යාත්මක සොයා ගැනීම් වාණිජ්‍යකරණයට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, එහිදී පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) වැනි ආයතනවලින් ලබා දිය හැකි දායකත්වයද විමසා බැලිණි.කෘෂිකර්ම අමාත්‍යාංශය ආදී විවිධ අමාත්‍යාංශ යටතේ සිදු කෙරෙන පර්යේෂණ ඒකාබද්ධ සම්බන්ධීකරණයකින් සිදු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.