Spread the love

නිමල් රාජපක්ෂ –

ජනතා සෞඛ්‍යය හා සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවෙමින්, “ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” (Towards a Dengue-Free Colombo) යන තේමාව පෙරදැරිව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව ක්‍රියාත්මක කර ඇති ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය පූර්ණ සහ සක්‍රීය දායකත්වය ලබා දෙයි.

මාරාන්තික ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය කරමින්, මහජනතාව සඳහා වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් 2026 ජූලි මස 11 වන දින අටවන දිනටත් ක්‍රියාත්මක කරන ලදී.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන පුද්ගලයින් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් හැට දෙදෙනෙකු (62) මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි.


ඒ අනුව මෝදර, බොරැල්ල, කෝට්ටේ, පිටකොට්ටේ, පානදුර, තලවතු‍ගොඩ සහ මහර යන ප්‍රදේශයන්හි ස්ථාන පනස් පහක් (55) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන එක්දහස් පන්සිය අටක් (1,508) හදුනාගන්නා ලදි. තවද, ඩෙංගු මර්දන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් හතලිස් අ‍ටක් (48) මෙම පුළුල් ඩෙංගු මර්දන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලදි

තවද, මෙම ඩෙංගු මර්දන වැඩසටහන් තුළින් පරිසරය විධිමත්ව පරීක්‍ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම හා විනාශ කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, ඊට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෙකුත් විධානයන් මඟින්ද නාවික හමුදා කඳවුරු ඩෙංගු මදුරුවන්ගෙන් තොර ආරක්ෂිත කලාපයන් බවට පත්කර ගැනීම සඳහා අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කර ඇත.