Spread the love

නිමල් රාජපක්ෂ-

යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ ආරම්භකර ඇති යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඩෙල්ෆ්ට් දූපත වෙත ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීමට නාවික හමුදාව විසින්, 2026 සැප්තැම්බර් 06 සහ 10 දිනයන්හිදී කටයුතු කෙරිණි.

ඩෙල්ෆ්ට් දූපත තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර; ඩෙල්ෆ්ට් දූපතේ පානීය ජල සැපයුම, මාර්ග ජාලය, ප්‍රවාහන සේවා සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම එහි අරමුණ වේ.

ඒ අනුව, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විශාල ප්‍රමාණයේ යන්ත්‍රෝපකරණ ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් කන්කසන්තුරය වරා‍යේ සිට ඩෙල්ෆ්ට් දූපත වෙත ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මෙලෙස මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීම, උතුරු නාවික විධානය මඟින් සිදුකෙරිණි.

තවද, නාවික හමුදාව මෙලෙස පහසුකම් සැලසීම මඟින්, ඩෙල්ෆ්ට් දූපතේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය කාර්යක්‍ෂමව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇත.