Spread the love

නිමල් රාජපක්ෂ
‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ (TRINEX – 25) 2025 ජූලි මස 22 සිට 26 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ සමාප්ති අවස්ථාව 2025 ජුලි මස 27 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ දී පැවැත්විණි.

ජාතික සමුද්‍රීය අභිලාශය සාක්‍ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන පුළුල් පරාසයක ආවේක්‍ෂණ කටයුතු හා මෙහෙයුම්, ගුවන් හමුදාව සමඟ එකාබද්ධ ප්‍රවේශයකින් සිදුකිරීමේදී අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමත්, නාවික හමුදා නෞකා බලඇණිය ජාත්‍යන්තර සමුද්‍රීය අභ්‍යාස සඳහා සහභාගිවීමේදී අවශ්‍ය ශිල්පීය දැනුම, වෘත්තීයභාවය සහ හැකියාවන් වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් මෙම අභ්‍යාසය නාවික හමුදාව විසින් වාර්ශිකව සංවිධානය කරණු ලබයි. මෙවර අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වේග ප්‍රහාරක යාත්‍රා, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා එක්විය.

කලාපීය සමුද්‍රීය ස්ථාවරත්වය සඳහා නාවික හමුදාවේ උපායමාර්ගික සූදානම සහ කැපවීම පිළිබිඹු කෙරෙමින් පැවැත්වුණු මෙම නාවික අභ්‍යාසය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් අධීක්‍ෂණය කිරීම 2025 ජූලි මස 25 සහ 26 දෙදින ගජබාහු නෞකාවේ සිට සිදුකෙරිණි.

මෙම අභ්‍යාසයේ මුහුදු අදියරේදී, නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාසය (MISCEX), මුහුද මතුපිට ඉලක්ක වෙත වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාසය (SUFTX), නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාසය (SCREENEX), මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP), මුහුදේදී නෞකා අතර විදුලි ආලෝක දැල්වීම මඟින් පණිවිඩ හුවමාරුව (FLASHEX), අවි හැසිරවීමේ අභ්‍යාසය (GUNNEX), මුහුදේදී නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස/ මුහුදේදී ගුවනින් නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (VBSS/ HVBSS), නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස, සෙවීම් හා මුදා ගැනීමේ අභ්‍යාස (SAREX) සහ තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) ඇතුළු අභ්‍යාස සිදුකිරීමෙන් අනතුරුව, 2025 ජූලි මස 26 වන දින නෞකා බලඇණිය මඟින් නැව්පති වෙත පිරිනැමෙන සාම්ප්‍රදායික ආචාරයෙන් (Steam Past) පසුව ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ මෙලෙස සාර්ථකව නිමාවට පත් විය.