Spread the love

නිමල් රාජපක්ෂ –

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2025’ (Trincomalee Naval Exercise – TRINEX 25) සමාරම්භය අද ( 22) නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදු කෙරිණ.

මෙම අභ්‍යාසය 2025 ජුලි මස 26 දින දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික වීධාන මුහුදු තීරය ආශ්‍රිතව, නාවික හමුදාවේ නෞකා බල ඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

ස්ථාවර සාගර කලාපයක් පෝෂණය කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරයේ සිට ජාත්‍යන්තර මුහුද දක්වා සිදුකරනු ලබන පුළුල් පරාසයක ආවේක්ෂණ කටයුතු හා මෙහෙයුම් එකාබද්ධ ප්‍රවේශයකින් සිදුකිරීමේදී, නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්තර් ක්‍රියාකාරීත්වය හා මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීමේ අරමුණෙන් සහ නාවික හමුදා නෞකා බලඇණිය ජාත්‍යන්තර සමුද්‍රීය අභ්‍යාස සඳහා අනාගතයේදී සහභාගිවීමේදී අවශ්‍ය නව දැනුම කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණෙන් පවත්වනු ලබන මෙම පුහුණු අභ්‍යාසය වරාය අදියර සහ මුහුදු අදියර වශයෙන් අදියර දෙකකින් සමන්විත වේ.

ඒ අනුව, අද ( 22) ආරම්භ කෙරුණු වරාය අධියරේදී මෙම අභ්‍යාසයට අදාළව පණිවිඩ හුවමාරු ක්‍රම සහ ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳව අභ්‍යාසයට සහභාගීවන නෞකා හා යාත්‍රාවන්ගේ කාර්යය මණ්ඩල සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්යය මණ්ඩල දැනුවත් කිරීම, දැනුම සහ පසුගිය අභ්‍යාසයන්ගෙන් ලද අත්දැකීම් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

මෙම අභ්‍යාසයේ මුහුදු අධියර හෙට 23 සිට 26 දක්වා නැගෙනහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතයි. අභ්‍යාසයේ අවසන් දේශනය ජුලි 27 වැනි දින පැවැත්වේ. අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකාද, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වේග ප්‍රහාරක යාත්‍රා මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානාද එක්වීමට නියමිතව ඇත.

මෙම අභ්‍යාසයේ මුහුදු අදියරේදී, නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස (MISCEX), පාවෙන ඉලක්ක වෙත වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස (SUFTX), නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාසය (SCREENEX), මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP), මුහුදේදී නෞකා අතර විදුලි ආලෝක දැල්වීම මඟින් පණිවිඩ හුවමාරුව (FLASHEX), අවි හැසිරවීමේ අභ්‍යාස (GUNNEX), මුහුදේදී නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස/ මුහුදේදී ගුවනින් නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (VBSS/ HVBSS), නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස, සෙවීම් හා මුදා ගැනීමේ අභ්‍යාස (SAREX) සහ තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) ඇතුළු සමුද්‍රීය අභ්‍යාස සිදුකිරීමට නියමිතව ඇත.