Spread the love

නිමල් රාජපක්ෂ

දිට්වා ව්‍යසනයෙන් අර්ධ වශයෙන් නිවාස හානි වූ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‌යේ නිවාස හිමියන් අතරින් තෝරාගත් නිවාස හිමියන් 1,253 දෙනෙකුට හානිපූර්ණ වන්දි සඳහා චෙක්පත් පිරිනැමීම නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ගොතටුව ශ්‍රී කන්දෙ විහාරස්ථානය සහ මුල්ලේරියාව ශ්‍රී කලටුවාවත්ත පුරාණ විහාරස්ථානයන්හිදී මෙම වන්දි ප්‍රදානයන් සිදුවිය.

අර්ධ හානි වූ නිවාස සඳහා ලබාදෙන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදලින් පළමු ඉදිකිරීම් වාරික මුදල ලෙස රුපියල් ලක්ෂ 03 ක වටිනාකමින් යුත් චෙක්පත් ලබාදීම සිදු කෙරුණු අතර, එම මුදල් නිවාස ඉදිකිරීම් සඳහා යොදවා නිවසේ ඉදිකිරීම් ප්‍රගතිය අනුව ඉතිරි ලක්ෂ 02 ක වන්දි මුදල ගිවිසුම්ගත එකඟතාව අනුව ලබාදීමට කටයුතු කෙරේ.

ජීවත්ව සිටි නිවසට වඩා ප්‍රමිතිගතව සහ ආරක්ෂිතව ඉදිකිරීමට යෝජිත මෙම නිවාස ඉදිකිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ නිරන්තර සහය ලබාදීම විශේෂත්වයකි. නිවාස වැඩසටහන කාර්යක්ෂමව සිදු කිරීමට නිවාස හිමියන් දිරිගන්වා ලැබුණු මුදල් නිසි කළමනාකාරිත්වයකින් යෙදවීම පිළිබඳ දැනුම්වත් කිරීම සහ මෙහෙයවීම ඔවුන් විසින් සිදුකෙරේ.

දිට්ටාවෙන් හානියට පත් කොලොන්නාවේ පවුල් 55,000 කට අධික ජනතාවකට විවිධ සහන ලබාදීම් සිදුකර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුලදී සියලු ආකාරයේ හානි සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇත.

මෙම අවස්ථාවට කොලොන්නාව නගරාධිපති ධම්මික විජේමුණි, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක ප්‍රියදර්ශන ඇතුළු පළාත් පාලන නියෝජිත සහෝදරත්වය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, එහි අතිරේක ලේකම් (පාලන) කාංචනා ගුණවර්ධන, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද වන්දිලාභීහු ද එක්ව සිටියහ.