නිමල් රාජපක්ෂ-
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට පවතින පරිපාලනමය, සේවාමය හා විගණන ක්‍රියාවලියට අදාළ ගැටලු රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් අවස්ථා ගණනාවකදී අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත්, ඒවාට ප්‍රමාණවත් හා කඩිනම් විසඳුම් ලබාදීමට මෙතෙක් කටයුතු කර නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
දුම්රිය ස්ථානවල පැමිණීම හා පිටවීම පරීක්ෂා කිරීම විගණන හා පරිපාලන ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් වන අතර, වසර ගණනාවක් තිස්සේ නිසි විගණනයකට ලක් නොවූ දුම්රිය ස්ථාන පවතින පසුබිමක, සමස්ත විගණන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයකට හා අදාළ බලතල සහිත නිලධාරීන් මගින් ක්‍රියාත්මක කළ යුතු බව අපගේ ස්ථාවරයයි. විශේෂයෙන් අදාළ විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබියදීත් දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරු සඳහා පත්වීම් වසර දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙන් විනය පරීක්ෂණ ඇතුළු අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු රැසක් ගොඩගැසී ඇත.
එසේම, දුම්රිය ධාවනය දිනෙන් දින අඩාල වන තත්ත්වය, දුම්රිය ස්ථාන හා යටිතල පහසුකම්වල පවතින ගැටලු, භාවිතයට ගත නොහැකිව පවතින දුම්රිය සම්පත්, සේවා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන නොලැබීම සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉංජිනේරු හා තාක්ෂණික සම්පත් නිසි ලෙස යොදා නොගැනීම පිළිබඳවද අප සංගමය දැඩි අවධානය යොමු කර ඇත.
දුම්රිය ස්ථානාධිපති සේවයට සෘජුව බලපාන සේවා ව්‍යවස්ථාව සම්බන්ධ කටයුතු හා බඳවාගැනීමේ පටිපාටියට අදාළ අන්තර්කාලීන විධිවිධාන තවදුරටත් ප්රමාදවීමද බරපතළ ගැටලුවකි. ඒ සමඟම සේවා වාර කප්පාදුව ඇතුළු ක්‍රියාමාර්ගවලදී දුම්රිය ස්ථානාධිපති සේවය පමණක් අසාධාරණ ලෙස ඉලක්ක කරන්නේ නම් එය කිසිසේත් පිළිගත නොහැකි බව අවධාරණය කරමු.
මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගැනීම අපගේ ප්රමුඛ අපේක්ෂාවයි. ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු බලධාරීන් සමඟ සාකච්ඡා අවස්ථා ඉල්ලා සිටියද, මෙතෙක් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් නොලැබීම පිළිබඳව අපගේ දැඩි කනගාටුව පළ කරමු.
අප විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා සාධාරණ කාලසීමාවක් තුළ ප්‍රායෝගික විසඳුම් ලබා නොදෙන්නේ නම්, සහෝදර දුම්රිය වෘත්තීය සමිති සමඟද සාකච්ඡා කරමින් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීරණය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය කටයුතු කරන බව දැනුම් දෙමු.
අපගේ අරමුණ දුම්රිය සේවය අඩාල කිරීම නොව, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා මහජනතාවට විශ්වාසනීය හා කාර්යක්ෂම දුම්රිය සේවාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිපාලන හා සේවාමය තීරණ කඩිනමින් ලබාගැනී බවද දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
