Spread the love

මාලන් විතාන

රටක සැබෑ සංවර්ධනය උදා වන්නේ භෞතික සම්පත් දියුණු කිරීමෙන් පමණක් නොව, සෑම පුරවැසියකුගේම හදවත් තුළ දේශීයත්වය, සාරධර්ම සහ සංස්කෘතික බැඳීම් ගොඩනැගීම හා ශක්තිමත් කිරීම තුළින් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යතුමිය මේ බව කියා සිටියේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව ප්‍රථම වරට සංවිධානය කළ “අනුබුද්ධාභි වන්දනා” ප්‍රාදේශීය පොසොන් මහා පෙරහැරේ සමාරම්භක අවස්ථාවට ජූනි 28 වනදා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට උතුම් ශ්‍රී සද්ධර්මය පමණක් නොව උසස් සංස්කෘතික වටිනාකම්, මානව ගුණධර්ම මෙන්ම දසරාජ ධර්මයෙන් පෝෂණය වූ රාජ්‍ය පාලන ක්‍රමයක්ද උරුම වුණා. අපට උරුම වූ ඒ දහම් ආලෝකය හේතුවෙන් අසිරිමත් වාරි කර්මාන්තය හා අහස උසට නැඟි මහා ස්තූප හරහා හෙළයන්ගේ නිර්මාණශීලිත්වය මුළු ලෝකයටම කියා පෑමට හැකි වුණා.

ලෝකයේ අන් කිසිදු රටක දැකිය නොහැකි, අපේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය වන ශ්‍රී දළදා පෙරහැරට අනුරූපව පවත්වනු ලබන “අනුබුද්ධාභි වන්දනා” පොසොන් මහා පෙරහැර වැනි උත්සව, රටට අවශ්‍ය සැබෑ සංවර්ධනය ළඟා කර ගැනීමට විශාල පිටුවහලක්.

අපේ රටේ අභිමානවත් පෙරහැර සංස්කෘතිය විදහාපාමින් මෙවැනි උත්සව පැවැත්වීම තුළින් අනෙකාට ගරු කරන,සහෝදරත්වයන් යුතු, පොදු අරමුණු වෙනුවෙන් සාමූහික හැඟීමෙන් එක්ව වැඩ කරන දරු පරපුරක් රට තුළ බිහි වීමට මඟ පෑදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, මන්ත්‍රීණි හේමමාලි වීරසේකර, දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්තුමිය, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.