නිමල් රාජපක්ෂ
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ඊයේ සහ පෙරේදා මස 10 සහ 11 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ අධීක්‍ෂණයෙන් ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය සංවිධානය කෙරිණි.
මෙම කඨින පුණ්‍ය මහෝත්සවය ආරම්භ කරමින් 2025 ඔක්තෝබර් මස 10 දින නයිනතිව් දූපතේ නාවික හමුදා අනුඛණ්ඩයේ සිට කඨින චීවරය උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ විචිත්‍රවත් පෙරහැරක් මඟින් නයිනතිව් දූපත වටා ජනතාවගේ වන්දනාමාන පිණිස පිරිත් සජ්ජායනා මධ්‍යයේ රැගෙන ගොස් නැවත නාවික හමුදා අනුඛණ්ඩයේ තැම්පත් කරන ලද අතර, එදින සන්ධ්‍යාවේ නාගදීප රජ මහා විහාරස්ථානයේ නාවික හමුදා දායකත්වයෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකෙරිණි.
මේ අතර ඊයේ ( 11) උදෑසන නයිනතිව්, නාවික හමුදා අනුඛණ්ඩයේ සිට කඨින චීවරය නාගදීප විහාරස්ථානයට වැඩම කරවා කඨින චීවර පූජාව සිදුකර, ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
තවද, මෙම කඨිණ පුණ්‍ය මහෝත්සවය සඳහා අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික), උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් මෙන්ම, බොදු බැතිමතුන් පිරිසක් බැති සිතින් සහභාගි වී සිටියහ
