නිමල් රාජපක්ෂ-
ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිතව සකස් කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන ආයතන වෙත ප්‍රතිපාදන ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද (18) සිදු කෙරිණි.
මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන 1.5ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඒ යටතේ එක් දිස්ත්‍රික්කයක් සඳහා රුපියල් මිලියන 60 බැගින් ලබාදීමට නියමිතය. දිස්ත්‍රික් මට්ටමින් අදාළ පළාත් පාලන ආයතන හරහා අනාරක්ෂිත හා අනතුරුදායක මාර්ග ස්ථාන හඳුනාගෙන අවශ්‍ය ආරක්ෂිත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
ඒ අනුව පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ නගරාධිපතිවරුන් සමඟ අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරිණි.
“ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම” යන මැයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් නිරෝෂන් රත්නායක මහතා විසින් 2026 මැයි 20 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ සඳහා 2026 ජුනි 01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය.
ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම සහ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ වගකීම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත පවරා ඇත. ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන සමඟ එක්ව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සහ ප්‍රගති සමාලෝචනය එම සභාව මගින් සිදු කරනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් නිරෝෂන් රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ වන අවස්ථාවේදී මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකිවීම සතුටට කරුණක් බවයි.
“ජනතාව ගොඩනැගුවේ ජනතාව ආරක්ෂා කරන ආණ්ඩුවක්. එහෙම නම් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීමත් ආණ්ඩුවට තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කර තිබෙනවා. නමුත් සාකච්ඡාවලින් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් අවශ්‍යයි.” යැයි අමාත්‍යවරයා පැවසීය.
මාර්ග අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත අහිමිවීම මෙන්ම රටට විශාල ආර්ථික හා සමාජීය පිරිවැයක් දැරීමට සිදුවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එබැවින් මාර්ග ආරක්ෂාව යනු රථවාහන නීති ක්‍රියාත්මක කිරීමකට පමණක් සීමා වූ කරුණක් නොව, රටේ ආර්ථිකයට සහ ජන ජීවිතයට සෘජුව බලපාන ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව විවිධ ජාත්‍යන්තර දර්ශකයන්හි ඉදිරියට පැමිණ තිබුණද මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“නීති පැනවීමෙන් පමණක් හෝ ජනතාව දැනුවත් කිරීමෙන් පමණක් මාර්ග අනතුරු අවම කරන්න බැහැ. අනතුරු සිදුවීමට හේතු වන මාර්ගවල භෞතික අනාරක්ෂිත තත්ත්වයන් ද වෙනස් කළ යුතුයි. අනතුරුදායක ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීමත් ඒ සඳහා අත්‍යවශ්‍යයි. මේ වැඩපිළිවෙළේ වැදගත්කම තිබෙන්නේ එතැනයි.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කරන දිනයේ සිට බලාත්මක වන අතර, ගිවිසුමේ සඳහන් විධිවිධාන හා කොන්දේසිවලට යටත්ව 2026 දෙසැම්බර් 31 දින දක්වා ක්‍රියාත්මක වේ.
මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රාදේශීය මට්ටමින් පවතින අනාරක්ෂිත මාර්ග ස්ථාන හඳුනාගෙන ඒවා කඩිනමින් ආරක්ෂිත තත්ත්වයට පත් කිරීම මගින් මාර්ග අනතුරු අවම කිරීම සහ මාර්ග භාවිත කරන ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.
