Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ 2026 ජූලි මස 19 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා සඟවා තිබූ ඖෂධ පෙති සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත ලද විශ්වාසනීය තොරතුරකට අනුව, කල්පිටිය පොලිසිය හා එක්ව, කල්පිටිය ජනසවිපුර ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි, එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා සඟවා තිබූ ඖෂධ පෙති හැට හත්දහස් හයසිය හතලිහක් (67,640) සහ බීඩි කොළ කිලෝ ග්‍රෑම් තිහක (30) පමණ තොගයක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචි බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු, ඖෂධ පෙති සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.