නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ පරිසර කළමනාකරණය, සංරක්ෂණය හා පරිසර අභිවර්ධනය සඳහා පාසල් ප්‍රජාවගේ ක්‍රියාකාරී සහභාගීත්වය ලබා ගැනීම පිණිස පරිසර අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද පූර්ණ සහය ඇතිව සංවිධානය කරනු ලබන 2026 – පරිසර නියමු ජාතික කඳවුර ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයේදී මේ වන විට පැවැත්වෙයි.
ආරම්භක දිනය (09.03) සනිටුහන් වූ අතර සිසුන් ලියාපදිංචි කිරීම ඇතුළු පූර්ව වැඩසටහන් කිහිපයක් එහිදී සිදු විය.
පරිසර නියමු ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය (09.04) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ඇතුළු නිලධාරින් මෙන්ම, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා, ප්‍රදේශීය දේශපාලන අධිකාරිය, දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.
එහිදී පාසල් 16ක් නියෝජනය කරමින් ළමුන් 238 දෙනෙකු සදහා ගරු අමාත්‍යතුමන් අතින් ස්වර්ණ වර්ණ ලාංජන පැළදවීම සිදු කෙරුණු අතර රුක් රෝපණ වැඩසටහනක්ද අමාත්‍යතුමන් විසින් සිදු කරන ලදී.
පරිසර නියමුවන් සමග ගරු අමාත්‍යතුමන් සමුහ ඡායාරූපයකටද පෙනී සිටි අතර දරුවන් සමග ඔවුන්ගේ අත්දැකීම් පිලිබදව පිලිසදරකද නිරත විය.
ඒ අනුව ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයේ දී 2026 සැප්තැම්බර් මස 03,04,05 හා 06 යන දිනවල හා සැප්තැම්බර් මස 17,18,19 හා 20 යන දිනවල කඳවුරු 02 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එක් කඳවුරක් සඳහා දිවයිනම ආවරණය වන පරිදි පාසල් වලින් තෝරාගත් ස්වර්ණ පදක්කම්ලාභී පරිසර නියමුවන් 250කට අදාළ පාසල්වල ගුරුවරුන් ඇතුළුව 350 දෙනෙකු පමණ සහභාගී වනු ඇති.
ආසන්න වශයෙන් දිස්ත්‍රික් 18 ක් නියෝජනය වන පරිදි ලංකාව පුරා සිටින සිසුන් මෙයට සහභාගි වන අතර, වැඩි වශයෙන් අම්පාර දිස්ත්‍රික්කයෙන්, බස්නාහිර පළාතෙන් සහ දකුණු පළාතෙන් සිසුන් මේ සදහා සහභාගී වේ.
නැගෙනහිර පළාත, විශේෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සිසුන් ඉතා සක්‍රීය ලෙස කඳවුරට සහභාගි වීමද විශේෂත්වයක්.
සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ සංස්කෘතික පසුබිම් සහිත සිසුන් එක්ව වැඩ කිරීම තුළින් සහජීවනය, නායකත්ව හැකියාවන් සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම කඳවුරේ ප්‍රධාන අරමුණු සහ ක්‍රියාකාරකම් ලෙස සැලකෙන අතර පරිසරය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම සඳහා කර්මාන්තශාලා නිරීක්ෂණය, ප්‍රවීණ විද්‍යාඥයන්ගේ උපදෙස් මත ශාක සහ සතුන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම, පරිසරය ආශ්රිත ඡායාරූපකරණය සහ වීඩියෝ කරණය ඉගැන්වීම යනාදී ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් සිදු කිරීම ද මෙහිදී සිදුවේ.
පරිසරයට අදාළ වූ ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් අනතුරුව පිළිවෙලින් පරිසර නියමු. හරිත, රජත ස්වර්ණ වර්ණ සහ අවසාන පදක්කම වන ජනාධිපති පදක්කම අතිගරු ජනාධිපතිතුමන් අතින් ලබා ගැනිමට සිසුන්ට ඉහත වැඩ සටහන තුළින් අවස්ථාව සැලසේ.
මේ ආකාරයට ක්‍රියාකාරකම් සම්පුර්ණ කරන ලද පරිසර නියමු දරුවන් අතරින් සමස්ත දිවයිනම් නියෝජනය වන පරිදි තෝරා ගත් ස්වර්ණ වර්ණ පරිසර නියමුවන්, ගුරු භවතුන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උක්ත නේවාසික කඳවුරු පවත්වනු ලබයි.
ස්වර්ණ පදක්කම සහ ජනාධිපති පදක්කම ලබාගත් සිසුන් පාසලෙන් ඉවත් වූ පසුවද ඔවුන් එකතු කර සංසද (NGO) පිහිටුවා ඇති අතර දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික්ක 17 ක සහ ජාතික මට්ටමේ සංසදයක් ක්‍රියාත්මක වේ.
මොවුන් ස්වේච්ඡාවෙන් ප්‍රජාව දැනුවත් කිරීම, විශ්ව විද්‍යාල හෝ රැකියා ස්ථාන වලදී පරිසර වැඩසටහන් මෙහෙය වීම යනාදිය සිදු කරයි.
පරිසර හිතකාමීව ක්‍රියාකාරකම් සහිත මෙම පිරිස් රාජ්‍ය යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධ කර ගැනීමේ හැකියාව පිළිබදවද විවිධ පාර්ෂව වලින් මේ වන විට සලකා බලමින් සිටීමද විශේෂත්වයක්.
