Spread the love

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අද (3) දිනයේ දී නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. 

ඊට අමතරව උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
 
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් ඔවුන් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.