Spread the love

ලද තොරතුරක් අනුව මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබු පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය 25වනදා අදාළ ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.

පසුව පොලීසිය විසින් අදාළ කාන්තාව ගෙන්වා විමර්ශන සිදුකර ඇති අතර ඇය විසින් මළසිරුර තම ස්වාමි පුරුෂයාගේ බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව පස්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබේ.

අදාළ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.