.-මාලන් විතාන
ඉදිරි දශකය තුළ සෑම පුරවැසියෙකුටම ආරක්ෂිත, පිරිසිදු සහ ස්වභාවිකව තිරසර පානීය ජලය ලබා දීම අපගේ උපායමාර්ගික ජාතික අරමුණක් විය යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය
. ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (SLAEB), ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) හා සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද , ““සමස්ථානික පාදක ස්කන්ධ ආකෘතිකරණය සහ කෘත්‍රිම පුනර්ජනන ක්‍රියාමාර්යන්හි සඵලතාවය ඇස්තමේන්තු කිරීම” (Evaluating the Efficacy of Artificial Recharge to Groundwater in Water Scarce Regions using Isotope Techniques (RCA).) පිළිබඳ කලාපීය පුහුණු පාඨමාලාවේ සමාරම්භක සැසියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙනමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එය අද දින (20 දින) කොළඹ රාමඩා හෝටලයේ දී ආරම්භ විය.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘති යටතේ මෙම වැඩමුළුව පැවැත්වේ. භූගත ජලයේ රහස් අවබෝධ කර ගැනීම සඳහා ජල විද්‍යාවේ සමස්ථානික තාක්ෂණය මුළු ලෝකයේම බහුලව භාවිතා වන අතර, එය කෘත්‍රිම භූගත ජල පුනර්ජනනයේ කාර්යක්ෂමතාව අධ්‍යයනය කිරීම සඳහා ඇති ඵලදායී මෙවලමකි. ජල සම්පත් කළමනාකරණය තුළ සමස්ථානික තාක්ෂණය යෙදවීම සම්බන්ධයෙන් කලාපීය හැකියාවන් සංවර්ධනය කිරීම මෙම පුහුණු පාඨමාලාවේ අරමුණ වේ.
ආසියා-පැසිෆික් කලාපය පුරා විසිරී සිටින කීර්තිමත් විද්වතුන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයන් එක් කරන වැදගත් කලාපීය වැඩසටහනක් ලෙස මෙම පුහුණු වැඩමුළුව, දැනුම හුවමාරු කර ගැනීමට, තාක්ෂණික ධාරිතාවන් ශක්තිමත් කිරීමට සහ තිරසාර භූගත ජල කළමනාකරණය සඳහා සමස්ථානික තාක්ෂණයන් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීමට සුවිශේෂී වේදිකාවක් සපයනු ඇත.
මෙහි දී අදහස් දැක් වූ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙසේ පැවසීය.
ශ්‍රී ලංකාවේ අප මුහුණ දෙන වඩාත් දැඩි අභියෝගයක් අපගේ උතුරු මැද පළාත විශේෂ කරගත් වියළි කලාපය තුළ තුළ තිබෙනවා. දශක ගණනාවක් පුරා අප ප්‍රජාවන්, හේතුව නිශ්චිතව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයේ (CKDu) විනාශකාරී බලපෑමට එරෙහිව සටන් කරනවා. පානීය ජලයේ ප්‍රධාන මූලාශ්‍රය වී ඇති භූගත ජලයේ ගුණාත්මකභාවය සමඟ මෙම රෝගයේ බරපතල ව්‍යාප්තිය දැඩි ලෙස සම්බන්ධ වී තිබෙනවා. මෙම අවදානම ඇති ප්‍රදේශවල ‘ප්‍රති ආසෘති’ (Reverse Osmosis – RO) ජල පිරිපහදු පද්ධති බහුලව භාවිත කරත්, එම පිරිපහදු කළ ජලය පානය කිරීමෙන් සෞඛ්‍යයට සහ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලීන්ට ඇති විය හැකි දිගුකාලීන බලපෑම් පිළිබඳව තවමත් නිශ්චිත අවබෝධයක් නැහැ.
ඒ නිසා, මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස RO පද්ධති මත පමණක්ම යැපෙන්න බැහැ. ඉදිරි දශකය තුළ සෑම පුරවැසියෙකුටම ආරක්ෂිත, පිරිසිදු සහ ස්වභාවිකව තිරසාර පානීය ජලය ලබා දීම අපගේ උපායමාර්ගික ජාතික අරමුණ විය යුතුයි. ඒ සඳහා මෙවැනි වැඩසටහන්වල හුවමාරු වන දැනුම අතිශය වැදගත්. ආසියා ශාන්තිකර කලාපය තුළ අප, පොදු දේශගුණික අවදානම්වලට මුහුණ දෙන අතර, එම සංකීර්ණ ගැටලු විසඳීම සඳහා කලාපීය සහයෝගීතාව සහ තාක්ෂණික සහයෝගිතාව අත්‍යවශ්‍ය වෙනවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුෂාරා රත්නායක, අධ්‍යක්ෂ ජනරාල් රවී කළුපහන යන මහත්ම මහත්මීන් ඇරතුළු නිලධාරීන්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විශේෂඥ මෙලනි විටාල් මහත්මිය ඇතුළු විශේෂඥයින්, IAEA හි ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල නියෝජිතයින්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ජල සම්පත් මණ්ඩලයේ නියෝජිතයන් ඇතුළු ජාත්‍යන්තර තලයේ විශේෂඥයින් පිරිසක් සහභාගී වූහ.
