Spread the love

නිමල් රාජපක්ෂ-

සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතිය මඟින් සංවිධානය කරනු ලැබූ “දිරිය දරු ප්‍රණාම” ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

දිවයින පුරා පළාත් 9 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම සත්කාරක වැඩසටහනේ බස්නාහිර පළාත් උත්සවය අද දින පැවැත්වුණු අතර, එහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් සඳහා රුපියල් 15,000/- බැගින් ද, සරසවි වරම් ලැබූ දරු දැරියන් සඳහා රුපියල් 20,000/- බැගින් ද මූල්‍යාධාර පිරිනැමීම සිදු විය. මේ යටතේ බස්නාහිර පළාත නියෝජනය කරන දරුවන් 320 දෙනෙකු වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයන්, පොත් පත්, පාසල් බෑග් ඇතුළු අධ්‍යාපනික උපකරණ මෙන්ම සමිතිය මඟින් පිරිනමනු ලැබූ අතර විශේෂ සම්මාන සහ සහතික පත් ද පිරිනැමීම සිදු කෙරිණි. සමස්ත වැඩපිළිවෙළ යටතේ දිවයින පුරා දරු දැරියන් 2,000 කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

සාමාජිකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපන ශිෂ්‍යත්ව වෙනුවෙන් මෙවර රුපියල් මිලියන 31 ක ප්‍රතිපාදන සහ පාසල් පොත්පත් ඇතුළු පාසල් උපකරණ ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 22ක් වෙන් කිරීමට කටයුතු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන කොදූනාරටිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බවත්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තමාගේ රාජකාරියෙන් ඔබ්බට ගොස් මෙරට ජනතාව වෙනුවෙන් පැය 24 පුරාම කැපවෙන ආයතනයක් බවයි. ශිෂ්‍යත්වලාභී දරුවන් තමාගෙන් සමාජයට සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳවද නිරන්තර අවධානය යොමු කිරීම වැදගත් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට සීමාසහිත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සමූපකාර සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමිතියේ සභාපති රෝහිත කුමාර හේරත්, උප සභාපති රන්ජුලා ජයරත්න, භාණ්ඩාගාරික සරත් සිසිර කුමාර, ලේකම් ජී. රේණුකා කුමුදුනී ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද, සමිතියේ සාමාජිකයින්, ප්‍රතිලාභී දරුවන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.