Spread the love

නිමල් රාජපක්ෂ –

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව 2026 ජුනි මස 10 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම‍‍ට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය දහසයක (316) පමණ තොගයක්  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. 

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මුහුදේ පාවෙමින් තිබූ උර නවයක් (09) පරීක්‍ෂා කෙරිණි.

එහිදී, එම උරතුල තිබී නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලදැයි සැකකෙ‍රෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් තුන්සිය දහසයක (316) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද,  නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොග‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.