Spread the love

නිමල් රාජපක්ෂ-

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපති, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ මැදිහත්වීමෙන් හා මග පෙන්වීමෙන්, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) තාක්ෂණික සහයෝගයෙන් රාගම රක්තවාතවේද හා පුනරුත්ථාපන රෝහලේ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ හා යන්ත්‍ර සුත්‍ර ඇතුළු තාක්ෂණික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

එම වැඩසටහන යටතේ අලුත්වැඩියා කරන ලද, නවීකරණය කරන ලද සහ ප්‍රතිනිර්මාණය කරන ලද උපකරණවල පළමු උපකරණ තොගය රෝහල වෙත නිල වශයෙන් බාරදීම අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහලේ දී සිදු කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා මෙම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ මේ පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර ඔහුගේ ඉල්ලීම පරිදි ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන් මෙම කාර්යය සඳහා ඉදිරිපත් වූහ.


මෙම උපකරණ අතරට IR Timers with Power Supply, Industrial Ovens, Patient Standing Aid Units, Multimonitor, Grinder Machine Control Panels, Power unit of a Tilting Bed, Tilting Bed Controller, Heat Gun, Rotary Tool ආදිය ඇතුළත් වේ. මෙම උපකරණ සියල්ල අලුත්වැඩියා කටයුතු සඳහා නියමිතව තිබූ අතර ඒ සඳහා සමහර උපකරණ සඳහා ඉතා ඉහල ඇස්තමේන්තු ඉදිරිපත් වී තිබීමත්, තවත් සමහර උපකරණවල නිෂ්පාදන සමාගම් මේ වන විට ක්‍රියාත්මක නොවීම මෙන්ම ඒ සඳහා සක්‍යතාවක් ඇති දේශීය ආයතන නොමැතිවීමත් හේතුවෙන් අලුත්වැඩියාවන් පමා වී දීර්ඝ කාලයක පටන් ඒවා භාවිතයෙන් ඉවත් කර තිබුණි.


මෙහි විශේෂත්වය වන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන 3 ක (3,000,000.00) පමණ වටිනාකමකින් යුත් භාවිතයෙන් ඉවත් කර තිබූ මෙම තාක්ෂණික උපකරණ ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ විශේෂඥ දැනුම මත රුපියල් පන්දහසකටත් (රු.5000.00) අඩු මුදලකින් සාර්ථකව අලුත්වැඩියා කර තිබීමයි. මේ සඳහා අදාළ ඉංජිනේරුවන් ඉදිරිපත් නොවූයේ නම් මෙම උපකරණ ස්ථිරවම භාවිතයෙන් ඉවත් වීමට ඉඩ තිබිණි.


මෙම වැඩසටහන යටතේ තවත් තාක්ෂණික උපකරණ තොගයක් නවීකරණය කෙරෙමින් පවතී. ඊට අමතරව රෝහල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි ශාරීරිකව ආබාධ සහිත රෝගීන්ට විශේෂිතව අවශ්‍ය රෝගී සත්කාර තාක්ෂණික උපකරණ තවත් පහසුකම් සහිතව නවීකරණය සහ ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ද මෙම ඉංජිනේරුවන් එකඟතාව පළ කළ අතර එම කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයත් අතර අවබෝධතා ගිවිසුමක් මත ඉදිරියේ දී විධිමත්ව සිදුකිරීමට නියමිතය.


මෙම අවස්ථාවට ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න, අධ්‍යක්ෂ ජනරාල් කුමාරි මීගහකොටුව යන මහත්ම මහත්මීන් ඇතුළු ඉංජිනේරුවන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) ආචාර්ය ප්‍රභාත් අබේසිරිවර්ධන, පුනරුත්ථාපන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්ද්‍රගුප්ත රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.