නිමල් රාජපක්ෂ-
මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළුතර, මග්ගොන ද්විත්ව දුම්රිය පාලමේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2026.08.31) සිදුකෙරිණ.
මුහුදුබඩ දුම්රිය මාර්ගය (අංක 8) සැතපුම් 33, දම්වැල් 43 ස්ථානයේ පිහිටි මග්ගොන දුම්රිය පාලම ඉදිකිරීම සදහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මගින් රුපියල් මිලියන 401.03 ක් වැයකෙරේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන් ආයතනය මගින් මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන අතර, වසරක් ඇතුලත ඉදිකිරීම් නිමකිරීමට සැලසුම් කර ඇත.
දැනට පවතින පැරණි යකඩ පාලමට සමාන්තරව කොන්ක්‍රීට් පාලමක් ලෙස නිර්මාණය කෙරෙන මෙම නව පාලමේ දිග මීටර් 26.0 කි. පළල මීටර් 10.5 කි. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ දැනට පවතින යකඩ පාලම නිසි ප්‍රතිසංස්කරණයට ලක් නොකිරීම හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතී. ඒ හේතුවෙන් මෙම මාර්ගයේ ධාවන වේගය සීමාකර ඇත. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.
පාලමේ ඉදිකිරීම් ඇරඹීමෙන් අනතුරුව සිය අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා,
දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ අභියෝගයන් රැසකට මුහුණ දුන්නා. ඊට ස්වභාවික ආපදා ද හේතුවුනා. නමුත් දිවයින පුරා සිදුවූ හානි කෙටි කාලසීමාවකින් නැවත යථාවත් කරගැනීමට හැකිවුණා. ඒ සඳහා දේශීය හා විදේශීය සහයෝගය රජයට ලැබුණා.
මුහුදුබඩ මාර්ගයේ තවත් පාලම් 12 ක් ඉදිරි වසරක කාලය තුල ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම නියමිත වේග සීමාවන් පවත්වාගෙන යාමට හැකි පරිදි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමටත් කටයුතු කරනවා.’
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල, එහි අධිකාරි ඉංජිනේරු (සැලසුම්) ලසන්ත කුමාර, අධිකාරි ඉංජිනේරු (මධ්‍යම) සඳුන් ලොකුආරච්චි, අධිකාරි ඉංජිනේරු (පහල) අසංග ධර්මසේන, අධීක්ෂණ කළමනාකරු (මාර්ග) එස්. ගොඩගේ, අධීක්ෂණ කළමනාකරු (මාර්ග හා යන්ත්‍ර) ඒ.එම්.බී.පී. මදුරංග, අධීක්ෂණ කළමනාකරු II එච්.ටී.එන්. චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහ ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන් සමාගමේ සාමාන්‍යාධිකාරි සුසන්ත ගමගේ, එහි ව්‍යාපෘති කළමනාකරු සුදර්ශන කරුණාවංශ යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
