මාලන් විතාන –
මෙරට දෙවන විශාලතම දිස්ත්රික්කය වන ලක්ෂ 05 කට අධික ජනගහනයකින් යූත් ඌව පළාතේ මොණරාගල දිස්ත්රික්කයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීම, සෞඛ්ය සේවාවන් කාර්යක්ෂම කිරීමත් අරමුණු කරගනිමින් එම දිස්ත්රික්කයේ සෞඛ්ය සේවාවන්හි වත්මන් ප්රගතිය හා ඉදිරි සැලසුම් පසුගිය දා සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන ගේ නිරීක්ෂණයට ලක් විය.
ඒ අනූව, මොණරාගල දිස්ත්රික් මහ රෝහල සහ වැල්ලවාය මූලික රෝහල යන රෝහල් හි ප්රගති සමාලෝචන කටයුතු මෙන්ම මොණරාගල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ 2025 වසරේ ප්රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.
මෙහිදී ඉහත රෝහල්වල වත්මන් රෝගී ප්රතිකාර සේවාවන් සිය නිරීක්ෂණයට ලක් කළ සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් ලබාදෙනු ලබන සෞඛ්ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා අවශ්ය උපදෙස් ලබාදීමට ද කටයුතු කරන ලදී.
එමෙන්ම රෝහල් තුළ ක්රියාත්මක සංවර්ධන ව්යාපෘති කඩිනම් කිරීම මෙන්ම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාශය ක්රියාවට නංවා ඇති සැලසුම් සහගත රෝහල් සංවර්ධන වැඩපිළිවලට අනුගතව රෝහල් සංවර්ධනය සඳහා ගත යුතු කඩිනම් ක්රියාමාර්ග සහ අනූගමනය කළ යුතූ වැඩපිළිවෙල පිළිබඳව ද නිලධාරීන් දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කරන ලදි.
මොණරාගල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ කාර්යසාධනය සමාලෝචන රැස්වීමේ දී
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා පැවසූවේ මානව හා භෞතික සම්පත් උපරිම ඵලදායි ලෙස යොදා ගනිමින් එහි උපරිම ප්රයෝජන ජනතාවට ලබාදීම ට කටයුතු කළ යුතු බවයි. සියළු සෞඛ්ය ආයතන අතර මනා සම්බන්ධතාවයක්, සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් බදු ගෙවන ජනතාවට උපරිම සෞඛ්ය සේවාවක් ලබාදීමට කටයුතු කළ යුතූ බව ද පැවසීය.
මෙහිදී මොණරාගල සෞඛ්ය සේවා අධ්යක්ෂ (RDHS) වෛද්ය එස්.ටී.ඒ. ප්රසංග සේරසිංහ මහතා විසින් මොනරාගල දිස්ත්රික්කයේ සෞඛ්ය සේවා කාර්යසාධනය (Performance of RDHS Monaragala) සහ වත්මන් සෞඛ්ය ක්ෂේත්රයේ ප්රගතිය පිළිබඳ විශේෂ සමාලෝචනයක් ඉදිරිපත් සිදු කරමින් මව් හා ළදරු සෞඛ්ය සේවා, පෝෂණය, බෝවන රෝග මර්දනය, පාසල් ප්රතිශක්තිකරණ වැඩසටහන, සුවදිවි මධ්යස්ථාන සෞඛ්ය සේවාවන් හි ඉහළ ප්රගතීන් අත් කර ගෙන ඇති බව ද පැවසීය.
2026 වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් 1,065 දෙනා අතුරින් කිසිදු මරණයක් වාර්තා නොවීම විශේෂ ජයග්රහණයක් බවත්, 2026 ජනවාරි මස ආරම්භ කරන ලද ‘ආරෝග්යා සුවතා මධ්යස්ථාන’ (Arogya Health and Wellness Centers) මුතුකණ්ඩිය මධ්යස්ථානය 100.5% ක සහ පුහුල්කොටුව මධ්යස්ථානය 91% ක ඉලක්කගත ජනගහන ප්රතිශතයක් ආවරණය කරමින් සාර්ථකව ක්රියාත්මක බවද පැවසීය.
මෙම අවස්ථාවන් සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් (ඉංජිනේරු සේවා) එච්. එමි.අයි.බී හේරත්,
ඌව පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්ය මහේන්ද්ර සෙනවිරත්න, මොණරාගල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය එස්.ටී.ඒ. ප්රසංග සේරසිංහ, බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂිකා වෛද්ය හිමාලි විජේගුණසේකර, මොණරාගල දිස්ත්රික් මහ රෝහලේ අධ්යක්ෂ ටී.ඩී පතිරගේ, වැල්ලවාය මූලික රෝහලේ වෛද්ය අධිකාරී එන්.ඒ.එමි රණදේව, විශේෂඥ වෛද්ය,වෛද්ය, හෙද ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.
