Spread the love

නිමල් රාජපක්ෂ

මේ

වසර අවසානය වන විට රටේ තිබෙන ද්විතීයික පාසල්වල ඩිජිටල් සබඳතා තහවුරු කරන්න අපි කටයුතු කරනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) එක්ව සංවිධානය කරන “මහඟු සම්පත – දරුවන් සුරකිමු” යන තේමාව යටතේ පැවැත්වෙන 2026 ලෝක ළමා දින සැමරුම් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (03) දින එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

මෙම අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ලෝක ළමා දිනය එක දවසකට සීමා නොවන බවත් දරුවන්ගේ ලෝකය සුරක්ෂිත කිරීම කෙතරම් වැදගත් ද යන්න මේ දිනය මතක් කර දෙන බවත් පැවසුවා ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

මේ රටේ සියලුම දරුවන් අපට වටිනවා. රජයක් විදිහට අපි සිදු කරන සියලු දේම කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්.

ළමා කාලයේ සිට සමාජය තුළ මොන වගේ වැඩිහිටියෙක් එහෙමත් නැතිනම් පුරවැසියෙක් බවට පත් වනවා ද කියන දේට අධ්‍යාපනය වැදගත්. රජයක් ලෙස අපි අධ්‍යාපනයට විශේෂ අවධානයක් ලබා දීලා තිබෙනවා. 2027 වර්ෂයේදී දෙවන සහ හයවන වසර සඳහා අලුත් විෂයමාලාව හඳුන්වා දෙනවා.

ඒ වගේම පාසල්වල ක්‍රමානුකූලව යටිතලපහසුකම් සහ ඩිජිටල් පහසුකම් දියුණු කරන්න කටයුතු කරනවා. වසර අවසානය වන විට රටේ තිබෙන ද්විතීයික පාසල්වල ඩිජිටල් සබඳතා මෙන්ම ඩිජිටල් තාක්ෂණය ආරක්ෂිතව භාවිතා කිරීම තහවුරු කරන්න අපි කටයුතු කරනවා.

ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය හා එක්ව දරුවන්ගේ ප්‍රවාහන ආරක්ෂාව තහවුරු කරන්න කටයුතු කරමින් සිටිනවා. විශේෂයන්ම පාසල් ප්‍රවාහන රථවල අවම ආරක්ෂාව තහවුරු කරන නිර්ණායක, නීති සහ රෙගුලාසි මෙන්ම මාර්ගෝපදේශ හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.

රටක් විදිහට අපි සෞඛ්‍ය පිළිබඳවත් හිතන්න අවශ්‍යයි. ආහාර සුරක්ෂිතාව සහ සෞඛ්‍ය අවධානය යොමු කළ යුතු වැදගත් ක්ෂේත්‍ර වනවා. පාසල් ආහාර වේල පිළිබඳවත් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. ක්‍රීඩාවත් ඒ වගේම වැදගත්. ක්‍රීඩා සංස්කෘතියක් පාසල් තුළ ඇති කරන්න අපි කටයුතු කරනවා. දරුවන්ට නිදහසේ ක්‍රීඩා කිරීමට ඉඩදිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ ආරක්ෂාව ඇති පරිසරයක් ගොඩ නගන එක අපේ වගකීමක්.