Spread the love

නිමල් රාජපක්ෂ-

‘රට හදන තරුණ ජවය’ තේමාව තරගනිමින් දිවයිනේ තරුණ තරුණියන් නායක, නායිකාවන් බවට පත්කරන, SYU Youth Summit වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතී.

සමාජවාදී තරුණ සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක Youth Summit තාරුණ්‍යය බලගන්වන ජාතික වැඩසටහන පසුගිය මැයි මස 15 වන දින ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් නිල වශයෙන් ආරම්භ කෙරිණ.

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති තරුණ ජවය සමග නායකත්ව අවස්ථා ලබාදෙන මෙම වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක ආරම්භ කර ඇත. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, අත්තනගල්ල, බියගම, දිවුලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්කඩුවාව සහ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම සහ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍රගතවත් Youth Summit ක්‍රියාත්මක කර ඇත.

රට තුල දේශපාලනික, සමාජ, ආර්ථික වශයෙන් පර්වර්තනයක් ඇති කිරීමට නිදහසින් පසු මෙරට වෘත්තිකයින්, ගොවියන්, කම්කරුවන්, කාන්තාවන් සහ ශිෂ්‍යයින් අරගලයක නිරත වූ අතර, එහිදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ සමාජවාදී තරුණ සංගමය ජනතාව සමග දේශපාලන පෙරමුණක් ලෙස අඛණ්ඩ අරගලයක නිරත විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවාදී ආණ්ඩුවක් බලයට පත්ව ඇත.

සමාජ, ආර්ථික, දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් ගොඩනැගී ඇති වත්මන් ආණ්ඩුව රැකගනිමින් අලුත් අභියෝගයන්ට මුහුණදීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නව සටනකට අවතීර්ණවීමට සිදුව ඇත. ඒ සඳහා තරුණ බලය ඒකරාශි කරමින් ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික තලයේ තරුණ තරුණියන් නායක නායිකාවන් බවට පත්කිරීම SYU Youth Summit හි ඉලක්කය වේ.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ අපේක්ෂා කරන තරුණ පරම්පරාවට වගකීම් බාරදෙමින් ජන අනුමැති ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනය යතාර්ථයක් බවට පත් කිරීමට රටට ආදරය කරන තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීම මෙම ජාතික වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.

SYU Youth Summit තරුණ සමුළු මාලාවේ කඩුවෙල සමුළුව එහි ජාතික සංවිධායක, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ;
‘ඔබේ ඡන්දයෙන් පත්වෙලා තිබෙන මහජන ආණ්ඩුව යටතේ රට තුල පරිවර්තනීය වෙනසක් ඇති කරන්න රජය කටයුතු කරනවා. ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් ලියවෙන යුගයක් වෙනුවෙන් තරුණ තරුණියන්ගේ සක්‍රිය දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා. දූෂිතයන්ගෙන් රට ආරක්ෂා කර ගනිමින් මහජන මුදල් හා දේපළ රැක ගනිමින් ජනතාව දුන් ජනවරම ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව කැපවෙන බව’ ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.