Spread the love

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සේවකයින්ගේ සුවතාවය වෙනුවෙන් දීප ව්‍යාප්තව, අඛණ්ඩව පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ 59 වන වැඩසටහන මෙරට පරිපාලන අගනගරයවන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ඊයේ (4) දිනය පුරා පැවැත්විණි.

මෙහි දී බටහිර වෛද්‍ය,  අක්ෂි, ආයුර්වේද වෛද්‍ය, සුවනාරි, දන්ත යන   සායන මෙන්ම දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව,  මානසික උපදේශක සේවා සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම, ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබද වැඩසටහනේ ජංගම එක්ස් කිරණ රසායනාගාර සේවාව යන සේවාවන් ඇතුළු නොමිලේ බටහිර සහ ආයුර්වේද ඖෂධ ලබාදීමට ද කටයුතු කෙරුණි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුව, සුරාබදු දෙපාර්තුමේන්තුව, මැතිවරණ කොමිෂන් සභාව, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ මහ නගර සභාව යන ආයතන මෙන්ම අවට රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම ජංගම සෞඛ්‍ය සායනයෙන් ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සහභාගි වී සිටියහ.

මෙම ජංගම සායනයෙන්  ලබාදෙන  ප්‍රතිකාරවලට අමතරව දීර්ඝ කාලීන ප්‍රතිකාර අවශ්‍ය බවට හදුනා ගන්නා රෝගීන් රජයේ ප්‍රධාන රෝහල්වල ඊට අඳාළව පැවැත්වෙන විශේෂඥ සායන සදහා යොමුකිරීමට ද මෙහි දී කටයුතු කරනු ලැබීය.

නීරෝගීමත් රාජ්‍ය නිළධාරීන්ගෙන් මෙරට ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම මෙන්ම සම්පත් දායකත්වයෙන් සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” තේමාව යටතේ මෙම “ආරෝග්‍යා” ජංගම සෞඛ්‍ය සායන මාලාව පවත්වනු ලබයි. ඊයේ පැවති 59 වන වැඩසටහනේ සංවිධාන කටයුතු ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතාගේ නිරීක්ෂණය යටතේ පැවැති මෙම වැඩසටහනේ දී ඒ මහතා පවසා සිටියේ මීලඟ “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන, මේමස හත්වන සෙනසුරාදා (7)  දිනය පුරා මාතර, පුහුල්වැල්ල ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ දී එම ප්‍රදේශයේ  ජනතාව වෙනුවෙන් පැවැත්වීමට කටයුතු සැලසුම්කර ඇති බවයි.