Spread the love

නිමල් රාජපක්ෂ-

“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතියට සමගාමීව රාජ්‍ය නිළධාරීන්ගේ සුපිළිපන්භාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රි ලංකාව තුළ නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (7/27) කාර්යාංශයේදී පැවැත්විණි.

මෙම ජාතික වැඩසටහන යටතේ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයට අයත් තේමාව වන “සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්” ඔස්සේ ප්‍රධාන දේශනය, කැළණිය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් සිදුකරන ලදී.

අද දින උදෑසන ‘ජාතික සුපිළිපන් දිවුරුම’ ලබාදීමෙන් අනතුරුව මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, ජූලි මස 27 දින සිට 31 වන දින දක්වා ක්‍රියාත්මක කරනු ලබන මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ  වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන ඒ.කේ.යූ.රෝහණ හා අනුර ලියන්වල යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් රැසක් එක්ව සිටියහ.