Spread the love







තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිස තම නිල සංචාරය සාර්ථක නිම කර අද (05) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනෙන් පිටව යන ලදි.


ශ්‍රී ලංකා – රුසියානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සබඳතා ශක්තිමත් කළ නිල සංචාරයෙන් පසු මෙරටින් පිටව යන නියෝජිත පිරිසට සමුදීමේ අවස්ථාව සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (BIA) විශේෂ පරිශ්‍රයට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ජාත්‍යන්තර සෞඛ්‍ය) වෛද්‍ය අනිල් සමරනායක මහතා එක්ව සිටි අතර, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ද එම අවස්ථාවට සහභාගිව සිටියහ.


රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය සහ AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් මෙරට සෞඛ්‍ය සේවාව බලගැන්වීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.


එමෙන් ම රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (04) කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක ද නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකය, හදිසි අනතුරු අංශය මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ද එම නියෝජිත පිරිසේ නිරීක්ෂණයට ලක් කෙරුණි.


මෙම නිරීක්ෂණ චාරිකාවල ප්‍රධාන අරමුණ වූයේ ඉහත ආයතන නවීන තාක්ෂණයෙන් සවිබලගැන්වීම පිළිබඳව කරණු සොයා බැලීමයි.


මෙම තෙදින සංචාරය තුළ සමස්තයක් ලෙස රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ ඉතා වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බදුන් විය. ඒ අතර ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව (හුවමාරු, ඒකාබද්ධ පාඨමාලා ආදිය), ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, ඩිජිටල්කරණය, සංචාරක සෞඛ්‍ය සේවාව ආදී ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු විය.