නිමල් රාජපක්ෂ-
විද්‍යාත්මක සොයාගැනීම් ශාස්ත්‍රීය ප්රකාශනවලට පමණක් සීමා නොවිය යුතු බවත්, එම පර්යේෂණ මගින් සමාජයට සැබෑ ප්රතිලාභ ලබා දිය යුතු බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය.
ශ්‍රී ලංකාවේ ඇම්බර් විද්‍යාගාරය, ගිනි ආරක්ෂණ ඉංජිනේරු සංගමය සහ මොරටුව විශ්වවිද්‍යාලය එක්ව සංවිධාන කළ ගොඩනගන ලද පරිසරයේ ගිනි ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය – 2026 හි (ICFIRE 2026 – International Conference on Fire Safety and Resilience of the Built Environment) සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
තිරසාර ගොඩනැගිලි පරිසරයක් අනාගතයට ගැළපෙන ලෙස සකස් කිරීම සඳහා ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය සහ පද්ධති දියුණු කිරීම” (“Advancing Fire-Resilient Materials and Systems for Future-Proofing Sustainable Built Environments”) යන තේමාව යටතේ ඊයේ දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී එය ආරම්භ කෙරිණි.
වේගවත් නාගරීකරණය, දේශගුණික විපර්යාස සහ නැගී එන ඉදිකිරීම් තාක්ෂණයන් හේතුවෙන් උස් ගොඩනැගිලිවල සිට සංකීර්ණ කාර්මික සහ තිරසාර යටිතල පහසුකම් දක්වා ගිනි අවදානම් තත්ත්වයන් ලොව පුරා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බැවින් නවීන ගොඩනැගිලි පරිසරයන්හි මතුවන ගිනි උවදුරු මඟහරවා ගැනීම සඳහා ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන්, පහසුකම් කළමනාකරුවන්, නගර සැලසුම්කරුවන්, පර්යේෂකයන්, කර්මාන්ත වෘත්තිකයන්, ද්‍රව්‍ය සපයන්නන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ආදී පාර්ශ්වකරුවන් එකතු කරන ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස මෙම සම්මන්ත්‍රණය වැදගත් වේ.
ගොඩනැගිලි පරිසරයන්හි ගිනි ස්ථාවරත්වය පිළිබඳ කොළඹ ප්රකාශනය (2026) එළිදැක්වීම, අපදා වැළැක්වීමේ සූදානම, ඉවත් වීමේ සැලසුම් සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම, ගොඩනැගිලි පරිසරය තුළ ගිනි ආරක්ෂණ දැනුවත්භාවය සහ නියාමන අනුකූලතාව වැඩිදියුණු කිරීම, ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය, ගිනි පද්ධති සහ ගිනි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පර්යේෂණ, නවෝත්පාදන දැනුම බෙදා හැරීම සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු අරමුණු රැසක් මෙමගින් ඉලක්ක කර තිබේ.
මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“මිනිසුන්ගේ ජීවිතවලට ඇති වන උවදුරු සහ යටිතල පහසුකම් විනාශ වීම වළක්වන ප්‍රායෝගික, දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි විසඳුම් බවට පර්යේෂණ පරිවර්තනය කළ යුතුය. අද අප මුහුණ දෙන අභියෝග ඉතා තීරණාත්මක වන අතර, ඒවා කිසිදු තනි ආයතනයකට හෝ එක් රටකට විසඳිය නොහැක. සහයෝගීතාව හරහා විද්‍යාව දියුණු වන අතර, දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම හරහා පර්යේෂණ හා නවෝත්පාදනයන් වර්ධනය වේ.
විශාල හෝ කුඩා, පොහොසත් හෝ දුප්පත්, කිසිදු රටකට ගිනි ආපදා වලින් හුදකලා විය නොහැක. නමුත් එකට එකතු වී, විද්‍යාව, නවෝත්පාදනය, ප්‍රතිපත්ති සහ ප්‍රජාව හරහා, අපේ ගොඩනැගුණු පරිසරය ආරක්ෂිත, වඩා ඔරොත්තු දෙන සහ වඩා සාධාරණ එකක් බවට පත් කළ හැකිය. ගිනි ආරක්ෂාව සඳහා තවදුරටත් සාම්ප්‍රදායික ක්‍රම මත පමණක් විශ්වාසය තැබිය නොහැක. නවීන ඉදිකිරීම් ද්‍රව්‍ය, පුනර්ජනනීය බලශක්ති පද්ධති, බැටරි ගබඩා තාක්ෂණයන්, හයිඩ්රජන් තාක්ෂණයන් වැනි උසස් කාර්මික ක්‍රියාවලීන් හරහා ගිනි ආරක්ෂාව කළමනාකරණය කළ යුතුය. මෙවැනි සම්මන්ත්රණ හරහා පර්යේෂකයින්, ඉංජිනේරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කර්මාන්ත වෘත්තිකයන් අදහස් හුවමාරු කර ගැනීමෙන්, මතුවන තාක්ෂණයන් සාකච්ඡා කිරීමෙන් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් ආශ්රිත ගිනි ආරක්ෂාව සඳහා ප්‍රායෝගික විසඳුම් ගවේෂණය කළ යුතුය.”
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියන් මෙන්ඩිස් මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක් වූ අතර ඇම්බර් විද්‍යාගාරයේ අධ්යක්ෂ ආචාර්ය රධිකා සමරසේකර, ඕස්ට්‍රේලියාවේ, RMIT විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේට් න්ගුයෙන්, Halliwell Fire Science හි ආචාර්ය රයන් හිල්ඩිච්, ආචාර්ය ඉම්රාන් අහමඩ්, වාස්තු විද්‍යාඥ අෂ්ලි ද වොස්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ඉංජිනේරු කොසල කඹුරුදෙණිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු එම්. ජී. හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් විශාල ප්‍රමාණයක් ද සහභාගී වී සිටියහ.
