Spread the love

නිමල් රාජපක්ෂ-

​පසුගිය වසරවල සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර සටහන් නිරීක්ෂණය කිරීමේදී සෑම වසරකම ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින්, එය අවම කරගැනීම සඳහා ලබන වසරේ ජූනි මාසයට පෙර සිටම විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් දුන්නාය.

අද (15) පැවැති කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

​කොළඹ දිස්ත්‍රික්කය තුළ අපජල අපවහනය සහ ඝන අපද්‍රව්‍ය එක්රැස්වීම බරපතල ගැටලුවක් ලෙස මතුව ඇති බැවින් එය ඉතා ඉක්මනින් විසඳිය යුතු බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී ආයතනික හෝ ප්‍රාදේශීය සීමාවලට කොටු නොවී කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය. මෙය සමස්ත රටම මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයක් බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ අපජල සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කරන ලෙස එතුමිය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නාය.

​එමෙන්ම, අපජල සහ ඝන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම ජාතික අවශ්‍යතාවක් බව ජනතාව දැනුවත් කිරීම මගින් ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර සහ පූර්ණ සහයෝගය ලබාගත හැකි බවද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

​මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කළේ සැප්තැම්බර් මස පළමු සතිය වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 40 දක්වා අඩුවී ඇති බවයි.

​එසේම, කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමේදී දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සක්‍රීයව මැදිහත් වෙමින් විශාල සහයෝගයක් ලබාදෙන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පැවසීය. එම සහයෝගය සහ කැපවීම ජනතාව වෙත ඉතා ඉක්මනින් සේවාවන් ලබාදීමට මහත් පිටුවහලක් වූ බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.

​මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරල් අරුණ ජයසේකර, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, අරුණ පනාගොඩ, දේවානන්ද සුරවීර, සුසන්ත දොඩාවත්ත, සමන්මලී ගුණසිංහ ඇතුළු පළාත් පාලන මහජන නියෝජිතයන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සම්බන්ධීකරණ කමිටු නියෝජිතයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.