Spread the love

නිමල් රාජපක්ෂ-

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ Dialog Axiata ආයතනය එක්ව දියත් කරන දීප ව්‍යාප්ත ඊ-කසළ කළමනාකරණ මෙහෙයුම තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව ඔස්සේ අප විසින් නොදැනම භාවිතයෙන් ඉවත් කරන විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික උපාංග හෙවත් විද්‍යුත් අපද්‍රව්‍ය (E-waste), නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදාහැරීම හේතුවෙන් පාරිසරික සහ සුවතාවයේ ගැටලු බහුල වනු ඇත.

ගෘහස්ථව ජනනය වන මෙම අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කිරීම, පස සහ ජල මූලාශ්‍ර දූෂණය කරන නිහඬ උවදුරක් බවට පත්ව වන අතර, මෙම අභියෝගයට තිරසර හා විද්‍යාත්මක විසඳුමක් ලබා දීමේ අරමුණින්, විද්‍යුත් අපද්‍රව්‍ය ක්‍රමවත්ව කළමනාකරණය කිරීම සඳහා කාර්යක්ෂම එකතු කිරීමේ ජාලයක අවශ්‍යතාව මතුව තිබේ.

මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සක්‍රීය දායකත්වය සහ මහජනතාවගේ පුළුල් සහභාගීත්වයෙන් සිදු කිරීම රජයේ අපේක්ෂාවයි. පාරිසරික සංරක්ෂණය උදෙසා වූ එම මහජන – පෞද්ගලික සුසංයෝගය යථාර්ථයක් බවට පත් කරමින්, පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, මධ්‍යම පරිසර අධිකාරිය සහ Dialog Axiata PLC ආයතනය ඒකාබද්ධව දීප ව්‍යාප්ත විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනක් දියත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම දීප ව්‍යාප්ත වැඩසටහන හරහා විද්‍යුත් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳව ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමත්, නූතන ඩිජිටල් තාක්ෂණය සහ පරිසර විද්‍යාත්මක ක්‍රමවේදයන් මුසු කරමින් ජාතික මට්ටමේ කසළ කළමනාකරණ ප්‍රතිපත්තියක් ප්‍රායෝගිකව බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමත් මූලික අපේක්ෂාවයි. මෙම සුවිශේෂී පාරිසරික මෙහෙයුමට අදාළව දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම (MoU) අත්සන් තැබීමේ වැඩසටහන එළඹෙන අගෝස්තු මස 03 වැනි සඳුදා දින මධ්‍යම පරිසර අධිකාරී ප්‍රධාන කාර්යාලයේ දී සිදු කිරීමට අපේක්ෂිතයි.