Spread the love

නිමල් රාජපක්ෂ-

විදෙස්ගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා ව්‍යාපෘති සේවාවන්ද සහිතව ඌණ උපයෝජිත ඉඩම් ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ වන වැවිලි අංශය, ප්‍රජා යටිතල පහසුකම් අංශය සහ රාජ්‍ය වැවිලි සමාගම්වලට අයත් ආයතන මගින්  ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් මෙන්ම ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, රුපියල් මිලියන 1,081ක ප්‍රාග්ධන ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වැවිලි අංශයේ වතු ඉඩම් වටමැනුම් වැඩසටහන, පොල් වගාවේ රෝග පාලනය සහ මර්දන වැඩසටහන, කප්රුක අරමුදල, පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උතුරු පොල් ත්‍රිකෝණ වැඩසටහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

වැවිලි ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ක්‍රියාත්මක  වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිසි කාලය තුළ අවසන් කර ජනතා අයිතියට පවරා දීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

එමෙන්ම විදේශ  ආධාර සහ ණය යෝජනා ක්‍රම යටතේ ලැබෙන ව්‍යාපෘති කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ පවතින ගැටලු හේතුවෙන් ඇතැම් ප්‍රතිපාදන ආපසු ගොස් තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් තේ, පොල් සහ රබර් ආදී වැවිලි භෝග නැවත වගා කිරීම වෙනුවෙන් සහන සැලසීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතියද ජනාධිපතිවරයා විමසා බැලීය.

තේ, පොල්, රබර් සහ කජු, තල් ආදී බෝග වගාවල මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයේදී පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් සහ ලාභයක් මේ වසරේ අත්කරගෙන තිබෙන බවත්, විශේෂයෙන් ඇල්කඩුව වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම ඇතුළු රාජ්‍ය වැවිලි සමාගම් 06ද වේගයෙන් තමන්ගේ ලාභය ඉහළ නංවා ගනිමින් සිටින බවත් මෙහිදී අනාවරණය විය.

තේ පර්යේෂණ ආයතනය යටතේ ක්‍රියාත්මක බෝග නිෂ්පාදනය සහ ආශ්‍රිත බෝග වැඩිදියුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු මෙන්ම කුඩා තේ වතු නැවත වගාව සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.

මෙරට තේ වගාවෙන් හෙක්ටයාර් 60,000ක් පමණ කුඩා තේ වතු බවත්, කුඩා තේ වතු නැවත වගා කිරීම සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 450.06ක ප්‍රතිපාදනවලින්  මිලියන 155.07ක් මේ වන විට වැය කර තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක තේ ගම්මාන 500ක ව්‍යාපෘතියේ ප්‍රගතියද  විමසා බැලූ ජනාධිපතිවරයා ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක “ප්‍රජාශක්ති වැනි අනෙකුත් සංවර්ධන වැඩසටහන් සමග ඒකාබද්ධ වෙමින් එහි කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද උපදෙස් දුන්නේය.

රබර් වගාව නැවත ප්‍රවර්ධනය වෙනුවෙන් රබර් පර්යේෂණ ආයතනය සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 137ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර, රබර් නැවත වගාව සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පොල් කර්මාන්තය සංවර්ධනය, පොල් ඉඩම්වල ඵලදායීතාව වැඩි කිරීම, නව නිෂ්පාදනය සංවර්ධනය සහ අගය එකතු කිරීමේ සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සහ පර්යේෂණ කටයුතුවල ප්‍රගතියද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

තල් සහ කිතුල් කර්මාන්ත ශක්තිමත් කිරීම වෙනුවෙන් තල් සංවර්ධන මණ්ඩලය සහ  කිතුල් සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතියද විමසා බැලිණි.

මෙරට වාර්ෂික කජු අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 25,000න් මෙට්‍රික් ටොන් 18,000ක ප්‍රමාණය සපුරා ගැනීමට  මේ වසරේ සමත්වනු ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ වර්ධනයක් බවත් මෙහිදී අනාවරණය විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල හෙක්ටයාර් 15,000ක කජු වගා කිරීමේ විභවතාවක් පවතින බවද සාකච්ඡාවට ලක් විය.

 වැවිලි ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වෙනුවෙන් ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතුවල ප්‍රගතිය සහ රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතියද විමසා බැලිණි.මීට කලකට පෙර පැවති රජයන් විසින් සමාගම් සඳහා ඉඩම් ලබා දීමේදී අත්සන් තැබූ ගිවිසුම් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර රජයෙන් ලබා දෙන ඉඩම් සම්බන්ධයෙන් ශක්තිමත් ගිවිසුම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතු සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කිරීමටද උපදෙස් දුන්නේය.

එමෙන්ම, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය යටතේ ක්‍රියාත්මක පාඨමාලා විශ්වවිද්‍යාල මගින් ලබා දීමේ හැකියාව පිළිබඳව අදාළ විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කර සොයා බලන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න,කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරුද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.