Spread the love

නිමල් රාජපක්ෂ

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී කඳුරට හින්දු පූජකවරු මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

කඳුරට ප්‍රදේශවල හින්දු කෝවිල්වල පරිපාලන කටයුතු, දහම් පාසල් පවත්වාගෙන යාම, පූජකවරුන්ගේ අවශ්‍යතා මෙන්ම කෝවිල් ඉඩම් හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංවිධානය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ ඒ සඳහා රජයේ සහාය ලබාගැනීම  පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

කඳුරට හින්දු පූජකවරුන් ජීවත් වන ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කරුණු දක්වන ලදී.

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිවශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් හින්දු පූජක සංවිධානයේ ආගමික නායකයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.පී. යෝගචන්ද්‍ර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන හා පොලිස්) එම්.එස්.පී. සූරියප්පෙරුම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.කේ. නිහාල්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුත්තනන් යන  මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.ජනාධිපති