නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු අංශ පිරික්සුම සහ ආචාර පෙළපාලිය අද ( 02) වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වුණි.
ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන් එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගී විය.
ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාව සහ දැනුම වර්ධනය කිරීම උදෙසා පවත්වනු ලබන වාර්ෂික පුහුණු කඳවුර සහ අංශ පිරික්සුම, ස්වේච්ඡා නාවික හමුදාවට අනන්‍යවූ සාම්ප්‍රදායික අංගයක් වන අතර, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින ආරම්භ කෙරුණු මෙවර පුහුණු කඳවුර සඳහා නිලධාරීන් 47 දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් 493 දෙනෙකු සහභාගී විය.
වීඩියෝව නරඹන්න
සති තුනක කාලසීමාවක් පැවති මෙම පුහුණු කඳවුර තුලදී, නාවික හමුදාවේ කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික දැනුම යාවත්කාලීන කිරීම ඇතුළු පුහුණු වැඩසටහන් සාර්ථකව සිදු කෙරුණු අතර, අද සාම්ප්‍රදායිකව නාවික හමුදාධිපතිගේ අංශ පිරික්සුම, නාවික හමුදාධිපති නියෝජනය කරමින්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදුකිරීමෙන් පසුව පැවති ආචාර පෙළපාලිය හා විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව, 2025 වර්ෂයේ වාර්ෂික පුහුණු කඳවුර මෙලෙස සාර්ථකව නිමාවට පත්විය.
