Spread the love

නිමල් රාජපක්ෂ-

ආර්ථික නැවත ස්ථාවර කිරීමත් දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීම වෙනුවෙනුත් ලෝකයේ රටවල් එක්ව කටයුතු කළ යුතුයි

– චීනයේ පැවති 5 වැනි ටිබෙට් (Xizang) ට්‍රාන්ස්හිමාලයා ජාත්‍යන්තර සහයෝගීතා සංසදයේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි –

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා 2026 ජූලි 16 සිට 18 දක්වා චීනයේ ලින්ෂි (Linzhi) නගරයේ පැවති 5 වැනි ටිබෙට් (Xizang) ට්‍රාන්ස්-හිමාලයා ජාත්‍යන්තර සහයෝගීතා සංසදයට සහභාගී විය.

මෙම ජාත්‍යන්තර සංසදයට මියන්මාරයේ උප ජනාධිපතිවරයා, නේපාල නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජ්‍ය කථානායකවරයා, පාකිස්තානයේ දේශගුණික විපර්යාස අමාත්‍යවරයා ඇතුළු රටවල් රැසක ඉහළ පෙළේ නියෝජිතයන් සහභාගී වූ අතර, අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එහි ප්‍රධාන දේශකයෙකු ලෙස අදහස් දැක්වීය.

“මිනිසා සහ ස්වභාවධර්මය අතර සහජීවනය – සංවර්ධනයේ ප්‍රතිලාභ හවුලේ බෙදා ගැනීම” යන තේමාව යටතේ පැවති මෙම සංසදයේදී, පරිසරය ආරක්ෂා කරමින් ආර්ථික සංවර්ධනය ළඟා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය දේශනයේදී සඳහන් කළේ, ට්‍රාන්ස්-හිමාලයා කලාපයේ රටවල් වෙන් කරන බාධක ලෙස නොව, ඒවා එකිනෙකා සමීප කරන පාලම් ලෙස කඳු පද්ධති දැකිය යුතු බවයි. එමගින් කලාපයේ රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කර ගනිමින් පොදු සංවර්ධන ඉලක්ක වෙත ළඟා විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.