Spread the love

නිමල් රාජපක්ෂ


නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පකිස්ථානයේ කර්මාන්ත සහ නිෂ්පාදන සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර Haroon Akhtar Khan මහතා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ හමුවක් අද (28 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර කර්මාන්ත සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර රසායනික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන, මැණික් සහ විද්‍යුත් ත්‍රීවීල් නිෂ්පාදන ක්ෂේත්‍රයන් සඳහා ඇති ආයෝජන අවස්ථාවන් පිළිබඳව Haroon Akhtar Khan මහතා ප්‍රමුඛ පකිස්ථාන නියෝජිත පිරිසේ විශේෂ අවධානය යොමු විය.
මෙහිදී සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ශ්‍රී ලංකාව හා පකිස්ථානය යන රටවල් දෙකටම පොදු කර්මාන්ත ක්ෂේත්‍රෙය් පවතින අභියෝග ජයගැනීම සඳහා පොදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජකයන් සඳහා වැඩි අවස්ථාවක් පවතින බවත් ආයෝජකයන්ට පැවැති බාධක ඉවත් කර ඒ සඳහා සුදුසු පරිසරයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව පැවසීය.
සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා 2012 ජුනි මස පැවැත්වෙන “ශ්‍රී ලංකා එක්ස්පෝ 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා පකිස්ථාන ආයෝජක ප්‍රජාවට ආරාධනා කළ අතර එහිදී එම ආරාධනාව පිළිගත් පකිස්ථානයේ කර්මාන්ත සහ නිෂ්පාදන සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර Haroon Akhtar Khan මහතා ඒ සඳහා පකිස්ථානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් සහභාගී කරවන බව පැවසීය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහා කොමසාරිස් Major General (Retd) Faheem Ul Aziz, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.