නිමල් රාජපක්ෂ
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ, දුෂණය අවම කිරීමට වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, e court ව්‍යාපෘතිය, voice – to- text තාක්ෂණය අධිකරණ පද්ධතියට හදුන්වාදීම, අධිකරණ සදහා යටිතල පහසුකම් ලබාදීම, බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, නඩු භාණ්ඩ බැහැර කිරීමේ ක්‍රමවේදයන් ඇතුළු අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබදව අමත්‍යතුමා විසින් චීන තානාපතිවරයාව දැනුවත් කරන ලදී.
මහජන චීන සමුහාණ්ඩුවේ අධිකරණ පද්ධතිය තුළ ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය හදුන්වාදීමේ වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රිරියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඩිජිටල්කරණ කටයුතුවලට සහ AI තාක්ෂණය හඳුන්වාදීම වෙනුවෙන් සිය සහාය ලබාදීමේ අදහස් පිළිබඳ චීන තානාපතිවරයා එහිදී සඳහන් කළේය.
චීන අධිකරණ පද්ධතිය තුළ voice – to- text තාක්ෂණය සාර්ථකව යොදා ගන්නා බවත්, තොරතුරු ලබා ගැනීමේදී අධිකරණ පද්ධතිය එකිනෙකට සම්බන්ධව පවතින බවත්, තානාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
දෙරට අතර මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික අවබෝධතා මත තවදුරටත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සංවර්ධන වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදීමට මෙහිදී එකගතාවයට එලඹෙන ලදී.
