නිමල් රාජපක්ෂ –
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ (Marc-André Franche) මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා. ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත සහ අධ්යක්ෂ පිලිප් වෝර්ඩ්(Philip Ward) මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
එහිදී අදහස් දක්වමින් පිලිප් වෝර්ඩ් මහතා සඳහන් කළේ ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදී ලෝක ආහාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක ආධාරයක් ලබා දුන් බවයි. එමෙන්ම 2026 අගෝස්තු සිට 2027 අගෝස්තු දක්වා කාලය තුළ මෙරට ආපදා කළමනාකරණ ධාරිතා සංවර්ධනය සහ පූර්ව ආපදා සූදානම වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ප්රදානය කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා පවසා සිටියා.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ මහතා සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය ආධාර වැඩසටහන් නවතා ඇති අවස්ථාවක මෙම මුදල ප්රදානය කිරීමට තීරණය කර ඇති බවයි. විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදී ලබා දුන් ඩොලර් මිලියන 7.5ක මුදල, දේශපාලන ලැදියාවකින් තොරව ආපදාවන්ට ලක්වූ ජනතාවගේ ජන ජීවිතය යතාතත්වයට පත්කිරීම වෙනුවෙන් යොදාගත් ආකාරය ප්‍රශංසනීය බව ද ඒ මහතා සඳහන් කළා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ ආපදා අවස්ථාවලදී මෙන්ම සංවර්ධන ක්‍රියාවලියේදී ද ඉතා මිත්රශීලීව කටයුතු කරන බවයි. විශේෂයෙන්ම වත්මන් ජාතික ජන බලවේග රජය විනිවිදභාවයකින් කටයුතු කිරීම තුළ එම විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමට සමත්ව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රාධා නානායක්කාර මහත්මිය, ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා හවුල්කාරිත්ව මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. රුෂාන්තන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
