නිමල් රාජපක්ෂ
ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් මේයර් මහතා සහ එම දූත පිරිස 2026 ඔක්තෝබර් 27 වැනි දින අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
තානාපතිවරයා පිළිගත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය, දෙරට අතර අධ්යාපනික හා පර්යේෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ෆුල්බ්රයිට් ශිෂ්යත්ව වැඩසටහන ලබා දී ඇති දායකත්වය අගය කළ අතර, එම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළාය.
ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම, සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ශ්රී ලංකාව ඇමරිකානු සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීමේ අවස්ථා පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. සමුද්රීය අභියෝගවලට මුහුණ දීම සඳහා වන සහයෝගීතාව ඇතුළුව සමුද්රීය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට කෙරිණි.
ඇමරිකා එක්සත් ජනපදයේ සාම බලකාය (U.S. Peace Corps) විසින් ක්රියාත්මක කරනු ලබන ඉංග්රීසි භාෂා පුහුණු වැඩසටහන සහ ශ්රී ලංකාවේ ඉංග්රීසි භාෂා අධ්යාපනය ශක්තිමත් කිරීම සඳහා එම වැඩසටහනෙන් ලබාගත හැකි දායකත්වය පිළිබඳව ද තානාපතිවරයා අග්රාමාත්යතුමිය දැනුවත් කළේය.
අන්යෝන්ය වශයෙන් වැදගත් ක්ෂේත්රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම තුළින් ශ්රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයම සිය වගවීම යළිත් තහවුරු කරන ලදී.
මෙම හමුවට කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්ය දූත මණ්ඩල ප්රධානී ඩේවිඩ් මයර්ස් මහතා සහ එම දූත පිරිස, අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතා, අග්රාමාත්ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්යාංශයේ යුරෝපා හා උතුරු ඇමරිකා අංශයේ අධ්යක්ෂවරයා සහභාගී වූහ.
