නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි (Ananas comosus) අඩි 20ක ප්‍රථම කන්ටේනරය අගෝස්තු අද දින (21 වන දින) පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු සහ එළවළු අපනයනය කරන ප්‍රමුඛතම සමාගමක් වන සී ආර් එක්ස්පෝර්ට්ස් (පුද්ගලික) සමාගම (C R Exports (Pvt) Ltd) විසින් මෙම තොගය අපනයනය කරන ලද අතර, මෙය පකිස්තානය තුළ ශ්‍රී ලාංකේය නැවුම් අන්නාසි සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි.
මෙම සන්ධිස්ථානය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සහ වාණිජ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සහ සමීප සම්බන්ධීකරණය මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DOA) සහ ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) විසින් ලබාදුන් වටිනා තාක්ෂණික සහයෝගය ද මූලික විය.
මෙම අපනයන අවස්ථාව උදාවූයේ ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ ජාතික ශාක ආරක්ෂණ සංවිධාන (NPPOs) අතර පැවති දීර්ඝ තාක්ෂණික සාකච්ඡා සහ සමීප සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස වන අතර, එහි අවසන් ප්‍රතිඵලය වූයේ පකිස්තාන වෙළඳපොළ වෙත නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය ශාක සෞඛ්‍ය විධිවිධාන (phytosanitary arrangements) ස්ථාපිත කිරීමයි.
මිලියන 252ක පමණ ජනගහනයක් සහිත පකිස්තානය, ශ්‍රී ලංකාවේ අන්නාසි සඳහා ඉතා ඉහළ විභවයක් සහිත වෙළඳපොළකි. පකිස්තානය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ වටිනාකමකින් යුත් අන්නාසි මෙට්‍රික් ටොන් 2,000–5,000ත් අතර ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.
දැනට තායිලන්තය සහ පිලිපීනය පකිස්තාන වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවන් ලෙස රැඳී සිටියද, ශ්‍රී ලාංකේය අන්නාසිවල ඇති සුවිශේෂී රසය, උසස් ගුණාත්මකභාවය සහ නැවුම් බව මෙන්ම දෙරට අතර පවතින භූගෝලීය සමීපත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම වෙළඳපොළේ වැඩි කොටසක් හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ
ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන සියලුම නැවුම් අන්නාසි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහතික ලත් වගාබිම්වලින් ලබාගන්නා බව සහතික කරන අතර, අදාළ නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (DoA) නිසි පරිදි ලියාපදිංචි වී සිටිය යුතුය.
