Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර කර්මාන්ත ප්‍රදර්ශනය වන Pro food- Pro pack – Ag Biz and Knowledge Hub 2026 ප්‍රදර්ශණය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (21 දා) ආරම්භ විය.


ශ්‍රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශණය මෙවර පවත්වන්නේ 23 වෙනි වරට වන අතර චීනය, ඉන්දියාව සහ ජර්මනිය ඇතුළු රටවල් නියෝජනය කරමින් විදේශීය ප්‍රදර්ශණ කුටි සහිත ප්‍රදර්ශණ කුටි 450 කින් මෙවර ප්‍රදර්ශණය සමන්විත වේ. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට (B2C) සහ ව්‍යාපාරයෙන් ව්‍යාපාරය (B2B) සම්බන්ධ කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කරන ලද මෙම Pro food- Pro pack – Ag Biz and Knowledge Hub ප්‍රදර්ශණය ආහාර කර්මාන්තයට සම්භන්ධ ඇසුරුම්කරණ විශේෂඥයින්, අපනයනකරුවන්, සිල්ලර වෙළෙන්දන්, නිෂ්පාදකයින්, ආහාර සකස්කරන්නන්, බෙදාහරින්නන්, ව්‍යවසායකයින්, ආයෝජකයින් සහ පාරිභෝගිකයින් සම්බන්ධ කර ගනිමින් ජාලකරණය, දැනුම බෙදාගැනීම සහ ව්‍යාපාර වර්ධනය සඳහා වටිනා අවස්ථා නිර්මාණය කරන ප්‍රධානතම වේදිකාවක් වෙයි.


කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ප්‍රදර්ශණය තුළ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ආහාර සැකසුම්කරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම සකස්කරන ලද SME මණ්ඩපය තුලින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) ඔවුන්ගේ නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට සහ වෙළඳපල අවස්ථා උදාකරගැනීමට වටිනා අවස්ථාවක් ලබා දී තිබෙයි.


මෙහිදී අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා අදහස් දක්වමින් ආහාර සැකසීම, ඇසුරුම් කිරීම සහ කෘෂිකාර්මික නවෝත්පාදනය සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් කිරීමට Pro food- Pro pack – Ag Biz and Knowledge Hub ප්‍රදර්ශණය අතිශයින් වැදගත් වනබව පැවසීය. එසේම කෘෂීකර්මාන්තයේ ප්‍රතිළුල කර්මාන්තකරණය කිරීම හා කෘෂිකර්මාන්තයේ අගයදාම ඉහළ නැංවීම සඳහා තම කර්මාන්ත අමාත්‍යාංශය සක්‍රීය දායකත්වය ලබාදෙන බවත් මේවන විටත් රජය විසින් සියළු කර්මාන්තකරුවන් සඳහා සුදුසු පරිසරයක් සකස්කර දී ඇති බැවින් පරිසර හිතකාමී නවෝත්පාදන නිෂ්පාදන වැඩිවැඩියෙන් ලෝක වෙළඳපල වෙත ඉදිරිපත් කරමින් සිටින බවත් පැවසීය.

මෙම Pro food- Pro pack – Ag Biz and Knowledge Hub 2026 ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් S.W.C. ජයමිණී, ශ්‍රී ලංකා ආහාර ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති අරුණ සේනානායක ඇතුළු නිලාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
අද ආරම්භ කරන ලද Pro food- Pro pack – Ag Biz and Knowledge Hub 2026 ප්‍රදර්ශණය 21, 22 හා 23 යන තෙදින පුරා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.