නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ වේගයෙන් වෙනස්වෙමින් පවතින මාධ්‍ය හා ඩිජිටල් අන්තර්ගත ක්ෂේත්රයේ නව ප්රවණතා, අභියෝග සහ ඉදිරි අවස්ථා පිළිබඳ පුළුල් සංවාදයක් පොඩ්කාස්ට් සාමාජ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් කොළඹ ග්‍රැන්බෙල් හෝටලයේදී සංවිධානය කෙරිණි.
“Navigating Sri Lanka’s Evolving Media Landscape: Challenges, Opportunities, and Sustainable Creator Growth” යන තේමාව යටතේ පැවැති මෙම සංවාදයේදී, ශ්‍රී ලංකාවේ පොඩ්කාස්ට්, ඩිජිටල් මාධ්‍ය වේදිකා සහ අනෙකුත් නව මාධ්‍ය ආකෘති වේගයෙන් වර්ධනය වීමත් සමඟ නිර්මාණය වන නව අවස්ථා මෙන්ම එම ක්ෂේත්රය මුහුණ දෙන අභියෝග පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙහි ප්‍රධාන දේශනය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය විසින් පවත්වන ලදී.
සංවාද මණ්ඩපයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, LAWASIA IT Law සභාපති ආචාර්ය සුනිල් අබේරත්න, Roar AdX කලාපීය උප සභාපති උදාර ධර්මසේන සහ Hari TV නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ළහිරු මුදලිගේ යන මහත්වරු සහභාගි වූහ.
SLVLOG නිර්මාතෘ සහ පොඩ්කාස්ට් සාමාජ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයකු වන බෘනෝ දිවාකර මහතා සංවාදයට ආරම්භක පසුබිම සැපයූ අතර, සංගමයේ සභාපති නාමිනී පණ්ඩිත මහතා විසින් සංවාදය මෙහෙයවන ලදී.
ලෝකය පුරා පොඩ්කාස්ට් මාධ්‍යය නව මාධ්‍ය පරිසරයේ ප්‍රබල කොටසක් බවට පත්වෙමින් තිබෙන අතර, එහි ශ්‍රාවක සහ ප්‍රේක්ෂක පදනම පුළුල් වීම, වෘත්තීයභාවය ඉහළ යාම සහ ශ්‍රව්‍ය, දෘශ්‍ය හා නිර්මාණකරුවන් විසින් මෙහෙයවන අන්තර්ගත අතර සීමා ක්‍රමයෙන් වෙනස්වීම දක්නට ලැබේ.
මෙම වෙනස්කම් ශ්‍රී ලාංකික අන්තර්ගත නිර්මාණකරුවන්ට ද නව අවස්ථා විවර කර දෙන අතර, එම ක්ෂේත්රයේ දිගුකාලීන පැවැත්ම, විශ්වසනීයත්වය, වෘත්තීය ප්රමිතීන් සහ වගකීම පිළිබඳ නව සංවාදයක අවශ්‍යතාව ද මතුකර තිබේ.
2026 වසරේ පිහිටුවන ලද පොඩ්කාස්ට් සාමාජ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පොඩ්කාස්ට් ක්ෂේත්රය සහ පුළුල් ඩිජිටල් අන්තර්ගත නිර්මාණ පරිසරය වඩාත් වෘත්තීයමය හා තිරසාර ක්ෂේත්රයක් ලෙස සංවර්ධනය කිරීමට දායක වීමයි.
පොඩ්කාස්ට් නිර්මාණකරුවන්ගේ ආරක්ෂාව සහ වෘත්තීය සංවර්ධනය ශක්තිමත් කිරීම, ක්ෂේත්රයේ පාර්ශ්ව අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ දැනුම හා අත්දැකීම් හුවමාරුව සඳහා අවස්ථා නිර්මාණය කිරීම ද සංගමයේ ප්‍රධාන අරමුණු අතරට අයත් වේ.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය පරිසරය අඛණ්ඩව වෙනස් වන පසුබිමක, පොඩ්කාස්ට් සහ අනෙකුත් නව මාධ්‍ය ක්ෂේත්‍ර සඳහා වඩාත් ශක්තිමත්, වගකීම්සහගත සහ තිරසාර පරිසරයක් ගොඩනැගීම සංගමයේ දිගුකාලීන අපේක්ෂාව බවද එහිදී අවධාරණය කෙරිණි.
