Spread the love

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළබෙන 15 වැනි ඉරු දින පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 323,879ක් සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849කදී විභාගයට පෙනී සිටීමට නියමිතය

එමෙන්ම ප්‍රශ්න පත්‍ර ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ලංකාව පුරා පිහිටි සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට මේ වනවිට නිකුත් කරමින් පවතින බවද හෙතෙම පැවසීය..

තවද විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විභාග මධ්‍යස්ථාන 7කදී සහ මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන්ට එහි සිට විභාගයට මුහුණදීම සඳහා ද විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

කොටස් දෙකකින් යුත් ශිෂ්‍යත්ව විභාගයේ පළමුව දෙවැනි පත්‍රය පැවැත්වෙන අතර, එය පෙ.ව. 9.30 සිට 10.45 දක්වා පැවැත්වේ. ඉන් අනතුරුව පෙ.ව. 11.15ට පැයක කාලයක් පැවැත්වෙන පළමු පත්‍රය ආරම්භ වේ.

මෙහිදී විශේෂ දැනුම්දීමක් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ, පෑනෙන් ලියනවා නම් කළු හෝ නිල් පෑන් පමණක් භාවිත කළ හැකි බවය.

ඊට අමතරව මකන කෑල්ලක්, අඩි කෝදුවක්, වතුර බෝතලයක් විභාග ශාලාවට රැගෙන යා හැකි බවත්, ෆයිල් කවර, ස්මාට් වර්ගයේ ඔරලෝසු රැගෙන යාමට අවසර නොමැති බවද පෙන්වා දුන්නේය.