Spread the love

නිමල් රාජපක්ෂ–


2030 වන විට 70%ක පුනර්ජනනීය ඉලක්කයට ලගා වීම සදහා වාර්ෂිකව මෙගාවොට් 600ක පමණ ධාරිතාවයක් සුර්ය බල පද්ධති මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කල යුතු වේ. මේ වන විට සුර්ය බල පද්ධති ආනයනය හා සවිකිරීම සදහා සමාගම් 1000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් බලපත්‍ර ලබාගෙන ඇත.


දැනට සුර්ය බල පද්ධති කර්මාන්තය තුල 10,000ක් පමණ සේවයේ නිරත වුවද ඔවුන්ගෙන් බහුතරයකට මෙම කර්මාන්තයේ නිපුණතාවය පිළිබද පිළිගත් වෘත්තීය සහතිකයක් නොමැත. වාර්ෂිකව මෙගාවොට් 600ක පමණ සුර්ය බල පද්ධති සවිකිරීමේ වැඩපිළිවෙල සදහා සුර්ය බල තාක්ෂණික ශිල්පීන් 5000ක් වාර්ෂිකව බිහිකල යුතු ය..


සුර්ය බල තාක්ෂණය පිළිබද අධ්‍යයනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථාන ද සීමාසහිත ය. සුර්ය බල තාක්ෂණය පිළිබද උපදේශකවරු ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවකි. මේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් සුර්ය බල තාක්ෂණ ශිල්පීන් 5000ක් සහ උපදේශකවරු/පරීක්ෂකවරු 100ක් බිහිකිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ක්‍රියාවට නගන ලදී.


මෙම වැඩසටහන යටතේ සුර්ය බල තාක්ෂණ ශිල්පීන් 1500ක් පුහුණු කර ඇත. මෙසේ පුහුණු ව ලැබු ශිල්පීන්ට සුර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් RPL ක්‍රමය යටතේ කඩිනමින් NVQ3 පිරිනැමීම සදහා විශේෂ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. එම වැඩසටහන යටතේ සුර්ය බලශක්ති කාර්මික ශිල්පීයෙකු ලෙස වසර 2කට වඩා පලපුරුද්ද ඇති කාර්මික ශිල්පීන් සදහා නොමිලේ NVQ පිරිනැමේ.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් සුර්ය බලශක්ති කාර්මික ශිල්පීන් නියාමනය සදහා අදාල රීති ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. එම රීතියට අනුව 2028 ජනවාරි 01 දින සිට 2029 දෙසැම්බර් 31 දක්වා කාලය සුර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස ඊට අදාල කටයුතු වල නියැලීම සදහා එම වෘත්තිය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය නිපුණතා සුදුසුකම් 3 වන මට්ටම අවම සුදුසුකම ලෙස අනිවාර්ය කර ඇත. 2030 ජනවාරි 01 දිනෙන් පසුව සුර්ය බලශක්ති කාර්මික ශිල්පියෙකු ලෙස අදාල කටයුතු වල නියැලීමට අවම වශයෙන් පහත සදහන් සුදුසුකම් සපුරාතිබීම අනිවාර්ය වේ


• සුර්ය බල තාක්ෂණය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටම (NVQ Level 4)
• ඉංජිනේරු කාර්මික ශිල්පියෙකු වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වීම
ශ්‍රී ලංකාවේ සුර්ය බලශක්ති කාර්මික ශිල්පීන්ගේ කාර්ය මට්ටම උසස් කරන අතර විදුලිබල ආරක්ෂාව සහතික කිරීම සහ එම ක්ෂේත්‍රය තුල වැඩි වෘත්තීමය මට්ටමක් ප්‍රවර්ධනය කරමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජාතික ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය සහාය මෙම රීති ක්‍රියාත්මක කිරීම තුලින් අපේක්ෂා කෙරේ

ශීතකරණ වායු සමන හා වාහන වායු සමන කාර්මික ශිල්පීන්ට NVQ අනිවාර්ය කිරීම

පරිසර අමාත්‍යංශයේ ජාතික ඔ්සෝන් ඒකකය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එක්ව මේ වන විට ශීතකරණ වායු සමන හා වාහන වායු සමන කාර්මික ශිල්පීන්ට නොමිලේ NVQ 3 සහ NVQ4 පිරිනැමීමේ වැඩසටහනක් දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කෙරේ. ශිතකරණ හා වායු සමන කාර්මික ශිල්පියෙකු සහ ජංගම වායුසමන කාර්මික ශිල්පියෙකු ලෙස ඊට අදාල කටයුතු වල නියැලීම සම්බන්ධයෙන් හා සුදුසුකම් ලත් ශීතකරණ හා වායුසමන කාර්මික ශිල්පියෙකු සහ ජංගම වායු සමන කාර්මික ශිල්පියෙකු ලෙස කටයුකු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් 2026 ජුලි 7 වැනි දින රීත් පනවා ඇත.
එම රීතියට අනුව 2028 ජනවාරි 01 දින සිට 2029 දෙසැම්බර් 31 දක්වා කාලය තුල ශීතකරණ වායු සමන හා වාහන වායු සමන කාර්මික ශිල්පියෙකු ලෙස ඊට අදාල කටයුතු වල නියැලීම සදහා එම වෘත්තිය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය නිපුණතා සුදුසුකම් 3 වන මට්ටම අවම සුදුසුකම ලෙස අනිවාර්ය කර ඇත. 2030 ජනවාරි 01 දිනෙන් පසුව එම ක්ෂේත්‍රයට අදාල කටයුතු වල නියැලීමට අවම වශයෙන් පහත සදහන් සුදුසුකම් සපුරාතිබීම අනිවාර්ය වේ
• ශීතකරණ. වායු සමන හා වාහන වායු සමන කාර්මික ශිල්පය සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටම (NVQ Level 4)
• ඉංජිනේරු කාර්මික ශිල්පියෙකු වශයෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි වීම
ශ්‍රී ලංකාවේ ශීතකරණ. වායු සමන හා වාහන වායු සමන කාර්මික ශිල්පීන්ගේ කාර්ය මට්ටම උසස් කරන අතර ජාතික හා ජාත්‍යන්තර පරිසර ආරක්ෂණ හා සංරක්ෂණ ඉලක්ක ජයගැනීම. විදුලිබල ආරක්ෂාව සහතික කිරීම සහ එම ක්ෂේත්‍රය තුල වැඩි වෘත්තීමය මට්ටමක් ප්‍රවර්ධනය කිරීම මෙම රීති ක්‍රියාත්මක කිරීම තුලින් අපේක්ෂා කෙරේ