ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් ජනවාරි 05 දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකියි.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ.
සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර ධීවර සහ නාවික ප්‍රජාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.
ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55ක් පමණ දක්වා ඉහළ යා හැකියි.
ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේය.
