Spread the love

නිමල් රාජපක්ෂ

“ළමා විවාහ තුරන් කරමු.ගැහැනු ළමයාගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරමු” යන තේමාව පෙරදැරි කරගනිමින්, 2026 ඔක්තෝබර් මස 11 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ගැහැණු ළමයාගේ දිනය සමරනු ලැබේ.

ජාත්‍යන්තර ගැහැණු ළමයාගේ දිනයේදී අප සියලු දෙනාගේම ප්‍රධාන වගකීම විය යුත්තේ, දැයේ දියණියන් ආරක්ෂා කිරීමත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට නායකත්වය ලබාදීමත්ය. විශේෂයෙන්ම, සමාජයේ මූලිකම ඒකකය වන පවුල සුරැකීමේ සහ පෝෂණය කිරීමේ භාරදූර වගකීම හිමිවන්නේ අද දින අප අතර සිටින දියණියන්හටය.

වර්තමාන සංකීර්ණ සමාජ වටපිටාව තුළ සිදුවන ළමා විවාහ අවම කිරීම, නව යොවුන් වියේ  ගැහැනු ළමයින් ගැබ් ගැනීම, ස්ත්‍රී දූෂණය, ලිංගික අතවර,මානසික පීඩනයන් මෙන්ම සයිබර් අවකාශය (Cyber Space) තුළ දියණියන් අත්විඳින අනාරක්ෂිතභාවය පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමුවිය යුතුය. නූතන තාක්ෂණික දියුණුවත් සමඟ දියණියන්ට සුරක්ෂිත ඩිජිටල් අවකාශයක් නිර්මාණය කිරීම මෙන්ම, අධ්‍යාපනය සහ නායකත්ව කුසලතා ඔස්සේ ඔවුන්ව සබලගැන්වීම (Empowerment) සමස්ත සමාජයේම වගකීමක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ සභාපතිනි ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවාය.

දෙමාපියන් සහ භාරකරුවන් සෙනෙහස සහ ආරක්ෂාව ලබා දීම, ගුරුවරුන් මගපෙන්වීම සහ ආරක්ෂාව ලබා දීම ඇතුළු සමාජයේ සියලු වගකිවයුතු පාර්ශවයන් ගැහැණු ළමයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් වඩාත් සංවේදීව කටයුතු කිරීමටත් පෙරමුණ ගත යුතුව ඇත. එමෙන්ම, ළමා ආරක්ෂාව තහවුරු කිරීමේදී ගැහැණු හෝ පිරිමි භේදයකින් තොරව සෑම ළමයෙක්ගේම සමස්ත සුරක්ෂිතතාව පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු කාලය එළඹ ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තාවන ළමා ආපයෝජන පිළිබඳ පැමිණිලි වලින් පෙනී යයි.

යම් ළමා අපයෝජනයක් හෝ අනාරක්ෂිත තත්ත්වයක් පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ උපදෙස් ලබාගැනීමට 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක දුරකථන සේවාව (පැය 24 පුරා නොමිලේ) විවෘතව පවතින බවද මතක් කර සිටිමු.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ලෙස, ශ්‍රී ලාංකේය සියලු ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් අවශ්‍ය නායකත්වය ලබාදීමට අප සැමවිටම කැපවී සිටිමු. එකී උදාර අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා සියලු පාර්ශවයන් අප හා අත්වැල් බැඳගනු ඇතැයි අපේක්ෂා කරමු.