Spread the love

නිමල් රාජපක්ෂ-

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඊයේ (16) බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා සෘජුවම නිරීක්ෂණය කළේය. එම කටයුතුවලට සම්බන්ධව රසායනාගාරවල සේවයකරන නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරයා, වාර්තා කඩිනමින් නිකුත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ ඒ සඳහා පවතින පහසුකම් පිළිබඳවද සොයා බැලීය.

රස පරීක්ෂක වාර්තා පරිගණකගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද සොයා බැලූ අමාත්‍යවරයා අවධාරණය කළේ, තමන්ට හැකි උපරිමයෙන් වගකීම් ඉටු කිරීම තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවත්ය.

අධිකරණ කටයුතු කඩිනම් කිරීමේදී මෙන්ම බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව අවම කිරීමේදීද රස පරීක්ෂක වාර්තා නියමිත කාලසීමාව තුළ ලබාදීම තීරණාත්මක සාධකයකි. පසුගිය කාලයේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති තනතුරු පුරප්පාඩු සහ අවශ්‍ය පහසුකම්වල සීමාවන් හේතුවෙන් වාර්තා නිකුත් කිරීමේ බරපතල ප්‍රමාදයන් ඇති වී තිබිණි.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව එම ගැටලු හඳුනාගෙන, තනතුරු පුරප්පාඩු සම්පූර්ණ සහ අවශ්‍ය පහසුකම් සැපයීම සහ රාත්‍රී කාලයේ අමතර සේවාවන් වල නිරත නිලධාරීන් සඳහා දීමනා ලබාදීම ඇතුළු පියවර ගෙන ඇති අතර, එමඟින් රස පරීක්ෂක වාර්තා ලබාදීම වේගවත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර තිබේ.

රස පරික්ෂක වාර්තා කඩිනමින් ලබාදීමේ කාර්යය සඳහා කැපවී කටයුතු කරන නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කළ අමාත්‍යවරයා, රාජකාරි ඉටු කිරීමේදී මතුවන බාධා සහ දුෂ්කරතා පිළිබඳව තමා වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය උපරිම මැදිහත්වීම සිදුකරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙතෙක් ගොඩගැසී තිබූ වාර්තා ලබාදීම කඩිනම් කිරීමේ විශේෂ වැඩසටහන යටතේ විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ට අඩු ප්‍රමාණයන් සම්බන්ධව දෙපාර්තමේන්තුව වෙත 2026 අගෝස්තු මාසය දක්වා ලැබී ඇති සාම්පලවලට අදාළ රස පරීක්ෂක වාර්තා නිකුත් කර අවසන් කර ඇති බව මෙහිදී අනාවරණය විය. ඉතිරි වාර්තා නිකුත් කිරීමේ කටයුතුද වේගවත් කර තිබේ.

තවද, ලබන 2027 වසරේ ජනවාරි 31 වන විට අපේක්ෂිත ඉලක්ක සපුරාලමින්, රස පරීක්ෂක වාර්තා ලබාදීමේ කාලය මාස තුනක් දක්වා අඩු කරගත හැකි වන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග සහ යාන්ත්‍රණය මේ වන විට සකස් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමත්, පවතින ප්‍රගතිය සෘජුවම සොයා බැලීමත් මෙම නිරීක්ෂණ චාරිකාවේදී සිදු විය.

වැඩබලන රජයේ රස පරීක්ෂක කාමිණී පෙරේරා මහත්මිය ඇතුළු රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.