නිමල් රාජපක්ෂ-
අම්බලන්ගොඩ ආසනයේ කොබෙයිතුඩුව සහ බටදූව ගම්මාන කේන්ද්ර කරගනිමින් දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි නව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගිය ඔක්තෝබර් 15 වැනිදා වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලීන් හේවගේ සහෝදරයාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩපිළිවෙළේ ප්රධාන අරමුණ වන්නේ වෙරළ ආශ්රිත සාම්ප්රදායික සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට ගොස් ගම්මානවල පවතින ස්වාභාවික සම්පත්, කෘෂිකාර්මික කටයුතු, දේශීය කර්මාන්ත සහ ග්රාමීය ජන ජීවිතය සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධ කිරීමයි.
සංචාරක සමූපකාර සමිතියක් හරහා සියලු කටයුතු
මෙම වැඩපිළිවෙළ සංවිධානාත්මකව ක්රියාත්මක කිරීම සඳහා මේ වන විට සංචාරක සමූපකාර සමිතියක් පිහිටුවා තිබේ. ඉදිරි සංවර්ධන කටයුතු, ප්රජා සහභාගිත්වය, සංචාරක සේවා සැපයීම සහ ඒ ආශ්රිත ආර්ථික ක්රියාකාරකම් මෙම සමූපකාර සමිතිය හරහා සිදුකිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්යාපෘතිය කොබෙයිතුඩුව සහ බටදූව ගම්මානවලට පමණක් සීමා නොකර අම්බලන්ගොඩ ආසනයේ වෙනත් වසම් දක්වා ද ව්යාප්ත කිරීමට අදහස් කර තිබේ. ඒ අනුව, මේ සඳහා උනන්දුවක් දක්වන ඕනෑම වසමක සිටින ප්රතිලාභීන්ට මෙම වැඩපිළිවෙළ සමඟ එක්වීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ.
තම ප්රදේශයේ පවතින සම්පත්, නිෂ්පාදන, දේශීය කර්මාන්ත සහ ව්යවසායකත්ව හැකියාවන් සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධ කිරීමට කැමති ජනතාවට මෙම වැඩපිළිවෙළට දායක විය හැකිය.
කෘෂිකර්මාන්තය සහ දේශීය නිෂ්පාදන සංචාරක කර්මාන්තයට මාදම්පා ගඟ කේන්ද්ර කරගනිමින් කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, කුරුඳු කර්මාන්තය සහ කුරුඳු ආශ්රිත අගය එකතු කළ නිෂ්පාදන සංචාරක අත්දැකීම් සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබේ. තැඹිලි ගම්මානයක් ලෙස තෝරාගෙන ඇති ප්රදේශය ද මෙම සංචාරක සංවර්ධන වැඩපිළිවෙළට සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතී.
මෙමඟින් සංචාරකයන්ට ග්රාමීය ජීවන රටාව අත්විඳීමට, කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දැනුම ලබාගැනීමට, දේශීය ආහාර රසවිඳීමට සහ ප්රදේශයේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සැලසිය හැකිය.
එමෙන්ම, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන්, ගොවීන්, කාන්තා කණ්ඩායම් සහ තරුණ තරුණියන් සංචාරක ආර්ථිකයට සම්බන්ධ කරගැනීමෙන් නව රැකියා හා ස්වයං රැකියා අවස්ථා බිහිකිරීමට ද හැකි වනු ඇත.
ප්රජාශක්ති වැඩසටහන සමඟ ඒකාබද්ධ කිරීමදිළිඳුබව තුරන් කිරීම අරමුණු කරගත් ජාතික වැඩසටහනක් වන ප්රජාශක්ති ව්යාපෘතිය ද මෙම සංවර්ධන වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කෙරේ.
ඒ හරහා අඩු ආදායම්ලාභී පවුල්වලට ආර්ථික ක්රියාකාරකම්වලට එක්වීමට අවස්ථා සැලසීම, වෘත්තීය පුහුණුව ලබාදීම, කුඩා ව්යාපාර දිරිගැන්වීම සහ දේශීය නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් ගොඩනැඟීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය.
විශේෂයෙන්ම, සංචාරක කර්මාන්තයේ ප්රතිලාභ ගම්මානවල ජනතාව වෙත සෘජුවම ගලා යන ක්රමවේදයක් ගොඩනැඟීම තුළින් දිළිඳුබව අවම කිරීමේ අරමුණු සාක්ෂාත් කරගැනීමට දායක විය හැකිය.
සංචාරක කර්මාන්තය හරහා විදේශ විනිමය උපයා ගැනීමසංචාරක කර්මාන්තය ශ්රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප්රධාන ආර්ථික ක්ෂේත්රයකි. 2025 වසරේදී ශ්රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්යාව මිලියන 2.36ක් පමණ වූ අතර, සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණ විය. මෙම සංඛ්යා මඟින් මෙරට ආර්ථිකය තුළ සංචාරක කර්මාන්තයට හිමි වැදගත්කම පැහැදිලි වේ.
මෙවැනි පසුබිමක, අම්බලන්ගොඩ ආසනය තුළ ග්රාමීය සංචාරක ගමනාන්තයක් ගොඩනැඟීමෙන් විදේශීය සංචාරකයන්ගේ වියදම් ප්රදේශයේ ජනතාවගේ ආදායම් බවට පත්කර ගැනීමට අවස්ථාව සැලසේ.
නවාතැන් පහසුකම්, දේශීය ආහාර සැපයීම, ප්රවාහන සේවා, සංචාරක මඟපෙන්වීම, කෘෂිකාර්මික අත්දැකීම් සහ දේශීය නිෂ්පාදන අලෙවිය වැනි ක්ෂේත්ර ඔස්සේ නව ආදායම් මාර්ග නිර්මාණය කළ හැකිය.
විදේශීය සංචාරකයන්ට කුරුඳු ආශ්රිත නිෂ්පාදන, දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන සහ ග්රාමීය සංස්කෘතික අත්දැකීම් හඳුන්වාදීම මඟින් දේශීය ව්යවසායකයන්ට තම නිෂ්පාදන සඳහා නව වෙළෙඳපොළක් සොයාගැනීමට ද හැකි වනු ඇත.
මෙහිදී වැදගත් වන්නේ සංචාරකයන්ගේ පැමිණීම් සංඛ්යාව ඉහළ නැංවීම පමණක් නොව, ඔවුන් මෙරට රැඳී සිටින කාලය තුළ දේශීය භාණ්ඩ හා සේවා සඳහා වියදම් කරන මුදල වැඩි කිරීමත්, එම ආදායමෙන් වැඩි කොටසක් ප්රදේශයේ ජනතාව අතර රඳවාගැනීමත් ය.
👉 ජනතා සහභාගිත්වයෙන් තිරසර සංචාරක ගමනාන්තයක්
මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය සඳහා ප්රදේශයේ ජනතාවගේ සක්රීය සහභාගිත්වය, දේශීය සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම, පරිසර සංරක්ෂණය සහ සංචාරක සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම වැදගත් වේ.
සමූපකාර සමිතිය කේන්ද්ර කරගනිමින් විවිධ වසම්වල ප්රතිලාභීන් සහ නිෂ්පාදකයන් එකම ජාලයකට සම්බන්ධ කිරීමෙන්, සංචාරක ආදායමේ ප්රතිලාභ සාධාරණව බෙදී යන ආර්ථික ආකෘතියක් ගොඩනැඟීමට අවස්ථාව උදා වේ.
කොබෙයිතුඩුව සහ බටදූව ගම්මාන කේන්ද්ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙළ වෙනත් වසම් දක්වා පුළුල් කිරීම හරහා අම්බලන්ගොඩ ආසනයේ විවිධ ප්රදේශවල ජනතාවට සංචාරක ආර්ථිකයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසිය හැකිය.
ඒ අනුව, සංචාරක කර්මාන්තය හරහා විදේශ විනිමය උපයා ගැනීම, ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම, නව රැකියා හා ව්යවසායකත්ව අවස්ථා බිහිකිරීම සහ දිළිඳුබව අවම කිරීම යන අරමුණු එකට සම්බන්ධ කරන පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ලෙස මෙය ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ.
මෙම අවස්තාව සඳහා අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ගොඩහේවා සහෝදරයා, ප්රාදේශීය සභා මන්ත්රීනි චාන්දනී තුෂාරා සහෝදරිය, කොබෙයිතුඩුව ප්රජා සංවර්ධන නිලධාරී මහීල් විශ්වජිත් මහතා, සමූපකාර සංවර්ධන නිලධාරී මංගල මහතා නිලධාරීන් සහ ප්රජාව සහභාහී විය.
