Spread the love



නිමල් රාජපක්ෂ


අලුත් අදහස් සහ සැලසුම් සමඟ නව ජවයකින් යුතුව ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවෙමු’යි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කළේය.

ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්ය මණ්ඩලය සමඟ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුමකට අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ජනාධිපති ලේකම්වරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත විය.

අනතුරුව, කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අලුත් අවුරුදු උදාව ගෙවී ගිය වසරේ අතපසුවීම් සහ අඩුපාඩු මගහරවා ගනිමින් අලුත්වන ජීවිත සහ අලුත් ආකල්ප සමඟ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් බවයි.

රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ජනාධිපති කාර්යාලය පසුගිය කාලය තුළ ඉටු කළ මෙහෙවර තවදුරටත් පුළුල් කරමින්, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පිළිබිඹු කෙරෙන සාමුහිකත්වයේ ගුණාංගයන්ගෙන් ලැබෙන ශක්තියද සමඟ නව ජවයකින් යුතුව ඉදිරියට යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා මෙතෙක් ඉටු කළ කාර්යභාරය වෙනුවෙන්ද කාර්යමණ්ඩලයේ සියලුදෙනාට ස්තූතිය පිරිනැමීය.

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩර, රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.