Spread the love

විදේශයන්හි දේපළ මිළ දී ගැනීම සඳහා සිදු කරන ආයෝජන ප්‍රවර්ධනය කරමින් පළකරන වෙළඳ දැන්වීම් පිළිබඳ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් අතර, විදේශයන්හි නිශ්චල දේපළ මිළ දී ගැනීම සඳහා සිදු කරන ආයෝජන (විදේශයන්හි දේපළ ආයෝජන) ප්‍රවර්ධනය කරමින් මුද්‍රිත සහ සමාජ මාධ්‍යවල පළ කරන ලද වෙළඳ දැන්වීම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී නිරික්ෂණය කර තිබේ.

මෙම වෙළඳ දැන්වීම් මඟින් එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් ද මග පෙන්වීම් ලබාදෙන බව නිරීක්ෂණය කර තිබේ.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (විදේශ විනිමය පනත) යටතේ නිකුත් කර ඇති රෙගුලාසි සහ නියෝග මත පදනම් ව ඉහත සඳහන් ගනුදෙනු සම්බන්ධ පහත සඳහන් කරුණු පිළිබඳ ව මහජනතාවගේ අවධානය යොමු කරනු ලැබේ.

පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Personal Foreign Currency Accounts) හරහා ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 20,000 ක් හෝ වෙනත් ඕනෑම නම් කරන ලද විදේශීය මුදල් වර්ගයකින් ඊට සමාන උපරිම අගයකට යටත් ව ගෙවන ගෙවීම් හැර, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන් හට අවසරයක් නොමැත.

ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (Business Foreign Currency Accounts) හරහා විදේශයන්හි දේපළ ආයෝජන සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාවේ නේවාසික ආයතන වලට හෝ තනි පුද්ගලයන්ට අවසරයක් නොමැත.

තව ද, විදේශයන්හි දේපළ ආයෝජන සඳහා අරමුදල් සපයා ගැනීම ඇතුළු වෙනත් කිසිඳු අරමුණක් සඳහා විදේශ ණය ලබා ගැනීමට හෝ විදේශයන්හි නේවාසික පුද්ගලයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ නේවාසික තනි පුද්ගලයන හට අවසරයක් නොමැත.

ඉහත සඳහන් තත්ත්වයන් යටතේ, විදේශයන්හි දේපළ ආයෝජන ප්‍රවර්ධනය කරමින් සහ එවැනි ආයෝජන සඳහා විදේශයන්ගෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම පිළිබඳ ව මග පෙන්වීම් සිදු කරමින් මුද්‍රිත හා සමාජ මාධ්‍යවල පළ කරනු ලබන වෙළඳ දැන්වීම් පිළිබඳව සැලකිලිමත් ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවලට හවුල්වන හෝ එවැනි ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඕනෑම පුද්ගලයෙකුට එරෙහි ව විදේශ විනිමය පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කෙරෙනු ඇත.